Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කතරගම ඇසළ මංගල්‍යයට පාද වන්දනාවේ එන බැතිමතුන් ගමන් අරඹයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලබන මස 06වැනි දින කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට එක් වන උතුරු නැඟෙනහිර සිට පාද වන්දනාවෙන් පැමිණෙන බැතිමතුන් සිය වන්දනා ගමන මේ වන විට ආරම්භ කර තිබේ.

මේ වන්දනාකරුවන් සඳහා කුමන සහ යාල වන උද්‍යාන ඔස්සේ පැමිණීමට පිවිසුම් මාර්ග වන ජීවී දෙපාර්තමේන්තුවෙන් ලබන 30 වැනි දින උදෑසන විවෘත කිරීමට නියමිතය.

මෙලෙස පාද වන්දනාවේ එන ප්‍රථම කණ්ඩායමට 7000කට ආසන්න පිරිසක් එක්ව සිටිති. මේ පිරිස ඔකඳ දේවාලයට පැමිණ දින කිහිපයක් එහි ගත කර විශේෂ පුජාවක් පවත්වා අනතුරුව කුමන ජාතික වන උද්‍යානයට පැමිණීම ආරම්භ කර සිය වන්දනාවේ දුෂ්කරම මාර්ගය තරණය කිරීම ආරම්භ කරයි.

මේ පිරිස ජුලි මස 03 වැනි දින කතරගම පුදබිමට පැමිණීමට නියමිත අතර, කුමන, කුඹුක්කන් ඔය, යාල අංක 02 කලාපය, පොත්තන, මැණික් ගඟ, යාල අංක 01 කලාපය, කටගමුව, කොච්චීපතාන ඔස්සේ කතරගම නගරයට පැමිණේ.

මේ බැතිමතුන්ට ශ්‍රී ලංකා යුද හමුදාව සහ වන ජීවී නිලධාරීන් එක්ව විශේෂ ආරක්ෂක පහසුකම් දීමේ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාවට නංවා තිබේ. බැතිමතුන්ගේ පහසුවට යාල අංක 02 කලාපයේ මහනුවර දළදා මාලිගයේ බස්නායක නිලමේ ප්‍රදිප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් වාර්ෂිකව පවත්වාගෙන යන බත් දන්සල මෙවර ද සුදානම් කර තිබේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නෙවන සංවිධාන රැසක් එක්ව බැතිමතුන් පැමිණෙන යාල වන උද්‍යානයේ සෞඛ්‍ය කඳවුරු පිහිටුවීමට ද ක්‍රියා කර තිබේ. කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට නොමිලේ ආහාර ගැනීමට රුහුණු මහා කතරගම දේවාලයෙන් දිවා රාත්‍රි බත් දන්සලක් ක්‍රියාවට නැංවීමට සුදානම් කර ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මීට අමතරව තේවානි අම්මා මඩමේ භාරකාර මණ්ඩලය විසින් පුරා දින 16 ක් දිවා රාත්‍රි නොමිලේ ආහාර දීමට බත් දන්සල් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

Scroll to Top