ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටර්ලින්ක් ආයතනයට (Starlink) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව තිබේ.මේ අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ඇති බවත් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (06)පැවසීය.
පසුගියදා ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවේදී “Starlink”ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටර්ලින්ක් ආයතනයට අනුමැතිය හිමිව තිබේ. “Starlink” ජාල මධ්‍යස්ථාන ලොවපුරා 2000ක් පමණ ස්ථාපිත කර ඇති අතර, රටවල් 32ක් මේ වන විටත් වේගවත් අන්තර්ජාල පහසුකම ලබයි. එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීවේය.
අධ්‍යාපන, පර්යේෂණ හා ධීවර ක්ෂේත්‍ර සඳහා වේගවත් අන්තර්ජාල සේවාවක් මෙමඟින් සැපයිය හැකියි.ලෝකයේ ඕනෑම තැනක සිට මේ අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට ඇති හැකියාව තිබෙනවා.
තාක්ෂණ ක්ෂේත්රයේ නව පරිවර්තනයක් කරමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අද සිට ස්ටාර්ලින්ක් ආයතනය සමඟ කටයුතු කරනවා.මෙතෙක් පැවැති කුලුනු මඟින් සීමිත අන්තර්ජාල පහසුකම් වෙනුවට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට එක්වීමට මේ චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ඔස්සේ හැකියාව තිබෙනවා.මෙමඟින් තාක්ෂණ ක්ෂේත්රයේ වෙනසක් ඇති වෙමින් පවතිනවා.අධ්‍යාපනය හදාරන දරුවන්ට,පර්යේෂණ කරන විද්වතුන්ට,ධීවර ජනතාවට මේ අන්තර්ජාල පහසුකම මඟින් විශාල පහසුවක් සැලසෙනවා.
වේගවත්ම අන්තර්ජාල පහසුකමක් මේ තාක්ෂණය ඔස්සේ දිය හැකියි.විදුලි සංදේශ නියාමන පනතේ 22 වගන්තිය යටතේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මේ ආකාරයට අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කළා.මේ අන්තර්ජාල සේවාව ලබාගැනීම සඳහා පාසල් දරුවන්ට,ධීවර ජනතාවට හා පර්යේෂකයන්ට සහන පැකේජයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.ඒ පිළිබඳ ඉදිරියේදී සැලසුම් සකස් කරනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා –
“starlink” ආයතනය මෙරට තුළ දුරකථන ජාලා සමාගමක් ලෙස ස්ථාපිත කෙරෙන්නේ නැහැ.මේ ආයතනයට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය දුන්නේ පනතේ 17 වන හා 22 වගන්තිය අනුවයි.නමුත් ඊට සංඛ්‍යාත බලපත්‍රයක් ලෙස ලබාදී තිබෙනවා.එබැවින් පවතින විදුලි සංදේශ නියාමන පනත සංශෝනය කර සේවා බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා.මේ සබඳතාව ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 400 – 600ත් අතර මුදලක් වැය වෙනවා.
මාසික ගෙවීම ඩොලර් 99ක් වෙනවා.චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාදෙන අන්තර්ජාල පහසුකම හරහා ලෝකයේ කුමන ප්‍රදේශයේ සිටිය ද අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව තිබෙනවා.ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කීහිප ගුණයකින් මේ අන්තර්ජාල සේවාව වේගවත් වෙනවා.ඒ නිසා ඉදිරියේදී තාක්ෂණ ක්ෂේත්රයට වඩා යහපත් පරිසරයක් නිර්මාණය වන බව විශ්වාස කළ හැකියි. තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග මහතාද මේ අවස්ථාවට එක්විය.