Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජපානයේ ප්‍රථම ථේරවාදි බෞද්ධ විහාරය පිහිටුවා හතළිස් වසරක් ගතවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ‘ලංකා ජී විහාරය’ ආරම්භ කොට ඊයේ (26) දිනට වසර 40ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් ජපානයේ කතෝරි නගරාසන්නයේ සවරා පළාතේ කෝගයිෂිමාහි පිහිටි ලංකා ජී විහාරයේ විශේෂ ආගමික වතාවත් සහ සැමරුම් උත්සවයක් පැවැත්විය.

ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ සැමරුම් උත්සවය පැවැත්වූ අතර, විහාරස්ථානය ආරම්භ කිරීමේ අතීතය මතකය පිළිබඳව අදහස් දක්වමින් බානගල උපතිස්ස නාහිමියෝ මෙසේ ප්‍රකාශ කර සිටියහ:

“ජපානයේ මීට වසර 40කට පමණ පෙර සම්පූර්ණයෙන්ම වාගේ පැවතුණේ මහායාන බුදුදහමයි. 1984 මැයි 26 දින ජපානය ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ලංකා ජී විහාරස්ථානය මගේ ආරාධනාවෙන් එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

වර්තමාන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියෝ බොහොම දෙනෙක්ගේ හීනයක් තමයි ජපානයේ රස්සාවකට එන එක. ඒ වගේම මමත් ඒ කාලෙ බොහොම කැමැත්තෙන් තමයි හිටියේ ජපානේට එන්න. ඒ ඉගෙනගන්න. මට ජපානයට එන්න 1976දි විතර මුලින්ම අවස්ථාව ලැබුණේ ජපන් භාෂාව ඉගෙන ගන්න. ඊට පස්සේ මට හිතුණා. ජපානයේ ළදරු අධ්‍යාපනය ගැන ඉගෙනගන්න. මොකද, ජපානයේ ළදරු අධ්‍යාපනය ඒ කාලෙත් ඉතා දියුණුයි. ඒ 1970-80 කාලේ ලංකාවේ ළදරු අධ්‍යාපනය ඒ කියන්නේ මොන්ටිසෝරි අධ්‍යාපනය එහෙම ක්‍රමවත් එකක් නෙමෙයි.

මම ජපානයට එනකොට මට අවුරුදු විසි හයයි. මම ළදරු අධ්‍යාපනය පිළිබඳ හදාරමින් ඉන්න කාලේ මට හිතුණා මට කවදා හරි මේ රටින් යන්න වෙනවා, ඒ යනකොට මේ රටේ ලංකාවේ නම පවතින දෙයක් කරලා, නොමැකෙන සිහිවටනයක් තියලා යන්න ඕනෑ කියලා. පසුව මම කල්පනා කළා මට ඒ වගේ අදහසක් ආවේ ඇයි කියලා. මමත් අවුරුදු දොළහේ ඉඳලා ධර්මපාල පරපුරේ කෙනෙක් හැටියට එතුමාගේ ජීවිතය, දර්ශනය, බලාපොරොත්තු පිළිබඳ ඉතාම ගැඹුරින් කියවලා හදාරලා තිබුණා. ධර්මපාලතුමා කිහිප වතාවක්ම (1889/ 1893) ජපානයට ඇවිත් තිබුණා. කියෝතෝ, ඔසාකා, යෝකෝහාමා ටෝකියෝ වගේ නගරවල ජපාන බෞද්ධයන් හමු වුණා. අද වගේ නොවෙයි, ඒ කාලේ ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ නැවෙන් තමයි එතුමා ජපානයට ආවේ. බොහෝ අවස්ථාවල එතුමා දැඩි ලෙස අසනීප වුණා. ධර්මපාලතුමා ගිය යුරෝපය ඇතුළු බොහෝ රටවල මහාබෝධි සමාගම ස්ථාපිත කළා; බෞද්ධ ආගමික වැඩ කටයුතු ආරම්භ කළා. ඒත් උන් වහන්සේට ජපානයේ ඒ වැඩ කටයුත්ත කරගන්න බැරි වුණා.

ජපානය සහ අප අතර ආගමික සංස්කෘතික වශයෙන් ඉතා සමීප බැඳීමක් තිබුණත් ඇයි ධර්මපාලතුමාට මේ දේ කරගන්න බැරි වුණේ කියන එක මට ප්‍රශ්නයක් වුණා. ඒ කාලේ ධර්මපාලතුමා ජපානයට හිතවාදිව කතා කළ නිසා එතුමාට ජපානයේත් ථෙරවාදි බුදු දහම ස්ථාපිත කරන්න, බෞද්ධ විහාරයක් පිහිටුවන්න ලොකු සිහිනයක් තියෙන්න ඇති. මොකද ජපානයේ විසිරී පැතිරී තිබෙන්නේ මහායාන බුදු දහම. ථේරවාදී බුදුදහම ඒ කාලෙත් ජපානයේ තිබුණෙ නැහැ.ඉතින් මට හැම තිස්සෙම හිතුණේ ධර්මපාලතුමාගේ ඒ සිහිනය මම කොහොම හරි සැබෑ කරන්න ඕනෑ කියලා. එහෙම හිතලා එතුමාට ගෞරවයක් ලංකාවට අභිමානයක් ඇති කරන, කවදාවත් අහෝසි නොවන සිහිවටනයක් ජපානයේ ඇති කරන්න ඕනෑ කියලා මම අධිෂ්ඨානයක් ඇති කරගත්තා.

ඒ නිසා මම ජපානයට ඇවිත් ටික කාලයක් යනකොට හිතුවා ඉතා දුෂ්කර වැඩක් වුණත්, ජපානය වගේ රටක විදේශිකයෙක්ට කරන්න හිතන්නවත් බැරි ඒ ඉලක්කයට මම යන්න ඕනෑ කියලා. කෙනකුට කරන්න ඕනෑ කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ, කියලා මම හිතුවා. කොහොම හරි අපේ රටේ ථෙරවාදී බෞද්ධ විහාරයක්, ජපානයේ කොහොම හරි ස්ථාපිත කරනවා කියලා මම හිතා ගත්තා. මම අධ්‍යාපනය ලබන කාලයේ නතර වෙලා හිටියේ මට ජපානයට එන්න සියලු මාර්ග විවර කර දුන් ජපානයේ මගේ අම්මා වුණ යොෂිඩා මැතිනියගේ නිවෙසේ.

ඇත්තටම භික්ෂුවක හැටියට මට අවශ්‍ය වුණා වෙනම ජීවත් වෙන්න. ඒක පිළිගත්ත යොෂීඩා මැතිනිය ඒකට මට උදවු කරන්න එකඟ වුණා. යොෂිඩා මැතිනියගේ ගෙදර ඉන්න කාලෙදි ජපානයේ බෞද්ධ උගතුන්, භික්ෂූන් වහන්සේ සහ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු ඇය මට හඳුන්වා දුන්නා. ඇය මට කිවුවේ ‘මට දකින්න අවශ්‍යයි ඔබ ඔබගේම තැනක් ජපානයේ ගොඩනගා ගැනීමයි’ කියලා.

ඒ අනුව මම Kitakoiwa Edogawa-kuවල කුඩා නිවෙසක් කුලියට ගත්තා. ඒක මට වඩා පහසු තැනක් වුණා. බුදුපිළිම වහන්සේ නමක් වැඩමවා එහි තැන්පත් කර, ආගමික වතාවත් කිරීම ආරම්භ කළා. ජපානයේ සිටි බොහෝ ලාංකිකයන් සහ මගේ ජපන් මිතුරන් එතනට එන්න පුරුදු වුණා. ජපානයේ ශ්‍රී ලංකා විහාරයක් බෞද්ධ මධ්‍යස්ථානයක් ගොඩනැඟීම පිළිබඳව ඒ කාලේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා දැනුවත් කරලා තිබුණා. එහෙත් මට එතුමා එක්ක කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ. මේ කාලේ අධ්‍යයන කටයුතුවලට ඇවිත් සිටි ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ නතර වෙලා හිටියා. උන් වහන්සේගේ මඟපෙන්වීම මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කැඳවාගෙන විත් විහාරස්ථානය විවෘත කිරීම සිදු කළා.”

එලෙස ආරම්භ වූ ‘ලංකා ජී විහාරය’ හෙට සිය සිව් වැනි දසකය සපුරයි. මේ ලෝක සාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් පවත්වාගෙන යෑමට බානගල උපතිස්ස නාහිමියන්ට නිදුක් නීරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.

Scroll to Top