Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බුද්ධරශ්මි වෙසක් කලාපය 23දා සිට 26දා දක්වා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23, 24, 25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ සංවිධාන කර තිබෙන මෙම වෙසක් කලාපය මහා වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු, ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිඳු ගායනා, විදුලි පහන් අලංකරණය සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විතය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල බත් දන්සල සහ බිස්කට්, තේ පැන් දන්සල මැයි 23, 24 සහ 25 යන දිනවල රාත්‍රී 7.00 සිට පැවැත්වේ.

මැයි 23, 24 සහ 25 යන දිනවලදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී, ෂැංග්‍රිලා හරිත භූමියේදී සහ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත වෙසක් කලාපයේදී බොදු බැති ගී ප්‍රසංගයක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලිසියේ භක්ති ගීත කණ්ඩායම් විසින් එය ඉදිරිපත් කරනු ලබයි.

බාලදක්ෂ මාවත හා බේරේ වැව ආශ්‍රිත බිම් තීරයේ “චුල්ල ධර්මපාල” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ සහ දර්ශනීය පහන් කූඩු මැයි 23, 24 සහ 25 යන තෙදින ප්‍රදර්ශනය කෙරෙන අතර මැයි 23 වැනිදා ප.ව 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එය විවෘත කිරීමට නියමිතය.

ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව ඉදිවන “මඝ මානවක” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ මැයි 23, 24, 25 සහ 26 දිනයන්හිදී ප්‍රදර්ශනය කෙරේ.

Scroll to Top