පොදු ජන යහපත සඳහා වන සුචරිත සමාජයක් ගොඩනැගීමට ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී භාර දී තිබේ.
ආගමික අධ්‍යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති අතර ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජිත ස්වාමීන්වහන්සේලා විසින් මෙම යෝජනා මාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිස ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පිරිවෙන් ආරම්භ කිරීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීම, විද්‍යාපීඨ අරම්භ කිරීම වැනි පියවර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු මෙන්ම අගමැතිවරයෙකු ලෙසද ඉතිහාසය තුළ ආගමික අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඇගයීමට ලක්ව තිබේ.
ශිෂ්‍ය ප්‍රජාවට දහම් පාසැල් අධ්‍යාපනය අනිවාර්ය ලෙස හැදෑරීමට අවකාශ සැලසීම, බෞද්ධ ධර්මාචාර්ය සමත් දහම්පාසැල් ගුරුවරුන් පාසැල් හෝ පිරිවෙන් ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීම, පූජාභූමි ඔප්පු ලබා දී නොමැති විහාරස්ථාන ඉඩම් සඳහා පූජාභූමි ඔප්පු ලබාදීමට කටයුතු කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර ථෙරවාදී බුදුදහමට එල්ල වෙමින් පවතින තර්ජන හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය පියවර ගැනීම යන කරුණු මෙම යෝජනාවලිය තුළින් අවධානයට ලක් කර තිබේ.
එමෙන්ම රටේ යහපැවැත්ම හා ආගමික පුනර්ජීවනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලදී අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල සහාය ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනා ද ඊට ඇතුළත්.
ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලින් බහුතරයක් රටේ පවතින නීතිරීති හා අණපනත්වලට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඇතැම් ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වාදුන්නේ දිවයින පුරා ජයභූමි, ස්වර්ණභූමි වැනි බලපත්‍රලාභී ඉඩම් හිමියන් සඳහා ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදිමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා ඇති බවයි.
තවද මේ වන විට ක්‍රියාත්මක කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ කඳුකර දශකය සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශයන් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කරයි.
එමෙන්ම මෙසේ ඉදිරිපත් කරනු ලබන ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා නිසි ලෙස අධ්‍යයනය කොට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නුදුරේදීම ඉදිරිපත් කෙරෙන බවත් සමන් ඒකනායක මහතා ප්‍රකාශ කර තිබේ.