Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදු වන අතර, 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි ආණ්ඩුව අවධාරණය කරයි.

එබැවින් එළඹෙන උත්සව සමයේදී මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කිරීමටද මේ වන විට පියවර ගෙන ඇත.

මේ අතර උත්සව සමයේ සිදු වන මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග මහතා පෙන්වා දුන්නේ මුහුණට මුහුණ සිදු වන අනතුරු, ත්‍රිරෝද රථ අනතුරු හා යතුරුපැදි අනතුරුවලින් සිදු වන මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් බරපතළ අනතුරුවලට ලක් වී ඇති පුද්ගලයින් 100%ක් මෙතෙක් සුව ලබා නොමැති බවත්ය.

ශ්‍රී ලංකාව තුළ සිදු වන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ අධිවේගී මාර්ගවලින් පිටත බව පෙන්වා දුන් ඒ මහතා, එම අනතුරුවලින් දිනකට දහ දෙනෙකු පමණ මිය යන බවද සඳහන් කළ අතර, එබැවින් මාර්ග අනතුරු අවම කිරීමට අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියේ, උත්සව සමයේදී බස් රථ නිසා සිදු වන අනතුරු අවම කර ගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි.

එසේම මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකයක් මේ වන විට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කර තිබෙන බවත් ඊට ලැබෙන පැමිණිලි සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා,

උත්සව සමයේදී අධිවේගී මාර්ගය භාවිත කරන වාහන ප්‍රමාණය ලක්ෂ 2 පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. එහිදී සියලුම අධිවේගී මාර්ගවල මුදල් අයකැමි දොරටු විවෘත කර තැබීමට කටයුතු කරනවා. අධිවේගී මාර්ගවල සිටින මුදල් අයකැමිවරුන්ට පහසු වීම සඳහා මාරු මුදල් රැගෙන එන ලෙස ඉල්ලා සිටිනවා. එමඟින් වාහන තදබදය අවම කර ගත හැකියි.

අධිවේගී මාර්ගයේ අනතුරු වළක්වාලීම සඳහා විඩාබර රියැදුරන්ට විවේක ගැනීමට ස්ථානයක් සිංහල අලුත් අවුරුද්දට පෙර විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. උත්සව සමයේ අධිවේගී මාර්ගය තුළ සිදු වන අනතුරු අවම කර ගැනීම සඳහා සියලු රියැදුරන් විනයගරුකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියා උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි මහතා,

අධිවේගී මාර්ගයේ සිදු වන අනතුරුවලින් 56%ක් සිදු වන්නේ රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය නිසයි.

එම අනතුරුවලින් 35%ක් මරණය හෝ පූර්ණ කාලීන ශරීරාබාධ බව කිව යුතුයි. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර දහතුන තුළ මාර්ග අනතුරු 9,375ක් සිදුව තිබෙනවා. ඒ අතරින් රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවයෙන් සිදු වූ අනතුරු සංඛ්‍යාව 5292ක් වන අතර, එහිදී 66 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර, පූර්ණ කාලීන ශරීරාබාධ වූවන් ගණන 637ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තවද සමීක්ෂණ වාර්තා නිරීක්ෂණ අනුව අධිවේගී මාර්ගවල සිදු වන අනතුරු සිදු වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් හඳුනාගෙන තිබෙනවා. ඒ, රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය, රථ වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම හා තුන්වන පාර්ශ්වයක් නිසා සිදු වන අනතුරු ලෙසයි.

දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මහතා,

2024 වර්ෂයේ මේ වන විට අධිවේගී මාර්ගවල මාරක අනතුරු 07ක් සිදුව තිබෙනවා. එය පසුගිය වසර දෙකට සාපේක්ෂව ඉහළ යෑමක් පෙන්නුම් කරන බව කිව යුතුයි. 2022 වසරේදි අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු 17ක් සහ 2023 වසරේදි මාරක රිය අනතුරු 04ක් සිදුව තිබෙනවා. එම නිසා උත්සව සමයේදී විනයගරුක රියැදුරෙක් ලෙස අනතුරු අවම කර ගැනීමට දායක වන ලෙස ඉල්ලා සිටිනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර මහතා,

නව තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතය නිසා රියැදුරන්ගේ අවධානය බිඳී යාමෙන් සිදු වන අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය නීති රීති මේ වන විට මෝටර් රථ ආඥා පනතේ නැහැ. එම නිසා නව තත්ත්වයන්ට ගැළපෙන නීති රීති යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා.

Scroll to Top