තම වගාවට ප්‍රමාණවත් ජලය නොමැතිකමෙන් ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ බඩ ඉරිඟු, වී, මුං, කොමඩු ඇතුළු එළවළු බෝග රැසක් විනාශ වී තිබෙන බව ගොවීහු පවසති. ජයසිරිපුර, ඉකිරිවැව, ගඟේයාය, ඇතුළු අවට ගම්මානවල ගොවීහු ඉරිඟු, වී, මුං ඇතුළු ගොඩ බෝග රැසක් වගා කළහ.
තම ගොවි බිම්වල ගොඩ බෝග වගා කර ආර්ථිකය සරිකර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීන්ට උපදෙස් දුන්නද, එම බෝග වගාවන්හි අස්වැන්න නෙළීමේ කටයුතු අවසන් අදියරේ පවතින මොහොතේ ජලය ලබාදීම අත්හිටුවීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවද ගොවීහු පෙන්වා දෙති.
දැනට දින දහයක පමණ කාලයක සිට තම ගොවි බිම්වලට ජලය ලබා නොදීම නිසා ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි පවුල් දාහකට ආසන්න ප්‍රමාණයක් අක්කර 500ක පමණ වගා කරන ලද ගොඩබෝග වගාවන් විනාශ වී ඇති බව ද ගොවිජන සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
ඇළහැර ගොවිජන ව්‍යාපාරයට මොරගහකන්ද ජලාශයෙන් ජලය සැපයෙන අතර මොරගහකන්ද ජලාශයෙන්, මොරගහකන්ද ව්‍යාපාරය 70%ක් පමණ වී වගා කරන අතර ඉතිරි 30% ගොවීහු ගොඩබෝග වගා කරති. මොරගහකන්ද ජලාශයේ ප්‍රමාණවත් පරිදි ජලය තිබියදී මෙවර වගා කරන ලද ගොඩ බෝග වගාවන්ට ජලය නිදහස් නොකිරීමෙන් විනාශ වන ගොඩ බෝග වගාවන් වෙනුවෙන් තමන්ට වන්දියක් ලබාදීමට කටයුතු කරන ලෙස ද ගොවීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
අප මේ පිළිබඳව මොරගහකන්ද මහවැලි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ආර්.එම්.කේ.බී. රන්දෙණිය මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ වෙන විට කෙත් ඇළවල් සුද්ද කරන බැවින් ඒ සඳහා ජලය ලබාදීම ප්‍රමාද වන බවත් ඉදිරියේදී එම වැඩ අවසන් වූ සැනින් අවශ්‍ය ජලය නිකුත් කිරීමට කටයුතු කරන බවත්ය.