Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උඩුව මල්බෙරි ජනපදයේ උග්‍ර ජල හිඟයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මොරගහහේන උතුරු උඩුව මල්බෙරි ජනපදයේ ජීවත් වන තමන් උග්‍ර ජල හිඟයකට මුහුණ පා ඇතැයි එම ප්‍රදේශයේ ජනතාව පවසති. මෙම ජනපදයේ පවුල් 65ක පමණ ජනතාවක් පානීය හා අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය නොමැතිව මහත් අසරණභාවයට පත්ව ඇත. අහසින් වැටෙන වතුර හැර වෙනත් ජල උල්පත් තමන්ගේ ඉඩම්වල නොමැති බව ඔවුන් පවසයි.

නළ ජල පද්ධතියක් තම ජනපදය ආසන්නයට පැමිණ ඇතත් තිරිවානා සහිත තම ඉඩම්වල ජීවත්වන ඔවුනට ඒ වාසනාව ද නොමැති බව ඔවුහු පවසති.

වර්ෂාව පවතින කාලවලදී යම් අස්වැසිල්ලක් ලැබුණ ද පානීය ජලය සොයා ගම්වාසීන්ගේ භූගත ලිං සොයා යා යුතුව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.

පාසල් ගුරුවරයෙකු වූ ලාල් අතුකෝරළ මහතා – මල්බෙරිය අක්කර ගණනක විශාල ඉඩමක්. මේ ඉඩමේ මල්බෙරි වගා කළ අයට වන්දි වෙනුවට ඉඩම් කොටසක් දුන්නා. ඊට පසුව නායයෑමට ලක් වූ පවුල් කිහිපයකට ඉඩම් දුන්නා. තුන්වෙනි වරට දුප්පත් අයට ඉතිරි ඉඩම් ටික බෙදලා දුන්නා. හුඟක්ම ප්‍රශ්නෙ තියෙන්නේ කඳු මුදුනට වෙන්න පදිංචි ජනතාවට. ඉඩම් ලැබුණු සමහර අය මුල් කාලෙදීම ඉඩම් දාල ගියා. සමහරු නැති බැරිකමටම පදිංචි වුණා. සමහරු ගෙවල් බාගෙට හදලා දාලා ගියා. වතුර තමයි ඒ හැමෝටම ප්‍රශ්ණේ වුණේ. මිනිස්සු මහ පුදුම දුකක් විඳින්නේ.

ළඟට ඇවිදින් තියන නළ ජල පද්ධතිය තව මීටර් 300ක් එළුවණන් ප්‍රශ්නෙ හුඟක් දුරට විසඳෙනවා. වියදම් කරන්න මේ මිනිසුන්ට ශක්තියක් නෑ. ආයතනයක් හරි පින් තකා හරි මේකට උදවු කරනවා නම් ලොකු උපකාරයක් වෙනවා.

නායගේ කුලසිංහ මහතා – මම මේ ප්‍රදේශයේ පදිංචියට ආවේ මුල් කාලයේමයි.මේ ඉඩම් බෙදා දුන්නේ දුප්පත් අසරණ මිනිසුන්ට. එදා ඉඳන් අපි පුදුම දුකක් විඳින්නේ වතුර නැතිව. බාගෙට හදපු ගෙවල් දහයක් පහළොවක් ති‍ෙයනවා. වතුර නැති එකයි ලොකුම ප්‍රශ්නෙ. වතුර අදින්නට වරුවක් විතර යනවා. නළ ජලය ළඟටම ඇවිත් ති‍ෙයනවා. කවුරු හරි පින්වතෙක් අපිට වතුර ටික ලබා ගන්න උදවු කරනව නම් ලොකු පිනක්.

දිල්රුක්ෂා කුමාරි ජයසිංහ මහත්මිය – මේ ඉඩම් බෙදා දුන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලට. එවන් පවුල් 62ක් විතර ති‍ෙයනවා. අපි කන්න හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. පොළොවෙන් ලැබෙන වතුර ටිකවත් අපිට නෑ. මොරගහහේනේ මහත්තයෙක් අපිට සතියකට වතුර ලීටර් 1000ක් ගෙනත් දෙනවා. ඒකෙන් තමයි සේරම දේවල් කර ගන්නේ. වතුරවලට රුපියල් 2250 ගෙවන්න වෙනවා. ඒවගේ පවුල් 08ක් විතර ඉන්නවා. ප්‍රධාන පාරෙන් එන්න තිබුණු නළ ජල පද්ධතිය වෙන පාරකට හැරෙව්වා. මීටර් 500ක් විතර බට දැම්මොත් අපිටත් වතුර ගන්න පුළුවන්. ඒකට රුපියල් 120000/ක් විතර ගෙවන්න වෙන බව ජල සම්පාදන මණ්ඩලෙන් අපිට කිවුවා. කෝ අපිට සල්ලි? කන්න නැතත් වතුර ටික සල්ලි දීලා හරි ගන්නවා. අපේ ශ්‍රමය යොදලා කානු කපලා දෙන්න අපිට පුළුවන්. දුප්පත් අපිට කවුරු හරි දානපතියෙක් පිහිට වෙනව නම් පින් සිද්ධ වෙනවා.

Scroll to Top