Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිනිසුන්ගේ අකාරුණික භාවය කරුණාවක් කරගත් පින්නවල අලිඅනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පින්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා පසුගිය ඉකුත් 20 දින උපත ලැබීය.

ඒ් පින්නවල අලි අනාථාගාරයේ වයස 32 ක් වූ ශාන්ති කෙනෙරට සහ වයස අවුරුදු 19 ක් වූ පණ්ඩු හස්තියාට දාව මෙම අලි පැටවා උපත ලබා ඇත.

පින්නවල අලි අනාථාගාරය 1975 වර්ෂයේ පෙබරවාරි මස 16 වන දින එවකට අමාත්‍යවරයෙකුව සිටි පී.බි.ජි.කලුගල්ල මහතාගේ සංකල්පයකට අනුව අලි පැටවුන් 5 දෙනෙකුගෙන් ආරම්භ වූවකි.

පින්නවල අලි අනාථාගාරයේ සිදු වු ප්‍රථම අලි උපත සිදුව ඇත්තේ1984/07/05 කුමාරි කෙනෙරට දාව උපන් සුකුමලිය. අලි අනාථාගාරයේ වැඩිම පැටවුන් සංඛ්‍යාවක් උපත ලැබූ වර්ෂය 2011 වන අතර එම සංඛ්‍යාව 15 කි.පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම නිවුන් අලි උපත සිදු වුයේ 2021අගෝස්තු මාසයේ දී වාර්තා විය.

අනාථවන අලි-ඇතුන් රැක බලා ගනු ලබන ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථානය වන්නේ පින්නවල පිහිටි අලි අනාථාගාරය යි. මෙය පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ප්‍රදේශයේ ය. මාර්ග අංක A 01 දරන කොළඹ නුවර මහා මාර්ගයේ කෑගල්ලේ සිට 82 km කණුව අසලින් හැරී උපරිම වශයෙන් 10 km යන විට පින්නවල හමුවේ.

දුම්රියෙන් ගමන් කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෑගල්ල දෙසට 2 km පමණ ගිය විට අලි අනාථාගාරය හමුවේ. අලි-ඇතුන් සම්බන්ධව ජීවී කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්ෂනාගාරයක් ලෙස සුවිශේෂී වැදගත්කමක් දැරීම හේතුකොටගෙන පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීයව ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදුකරන සේවාව හැරුණු විට දේශීය හා විදේශීය සංචාරකයන් ඇදී එන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වේ. එමනිසා පින්නවල අලි අනාථාගාරය ශ්‍රී ලංකාවට විදේශ විණිමය ලබා දෙන සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ද වැදගත් තැනක් ගනී.

වනයේ හමුවන අනාථ වූ අලි ඇතුන්ගේ ජීවත්වීමේ අවස්ථාව තහවුරු කිරීම පිණිස 1975 දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අක්කර 25 ක භුමි ප්‍රමාණයක පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන ලදී. 1987 වර්ෂයේ දී මෙය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරාගත් අතර 1982 දී සත්ව අභිජනන වැඩසටහන ආරම්භ කරන ලදී. අලි අනාථාගාරයක් ලෙස මෙය ආරම්භ කිරීමේ දී අලි-ඇතුන්ගේ වාසයට සුදුසු වූ දේශගුණික ස්ථානයක් තෝරාගනු ලැබුණි.

තෙත් භූගෝලීය කලාපයට අයත් වන මෙම ප්‍රදේශය ඝර්ම කලාපීය වනාන්තර වලින් යුත් කඳු වලල්ලකින් වට වී තිබීම දැකගත හැකි වෙයි. හෙක්ටයාර 9 කින් යුත් පොල් වගා බිමක් තුල මෙය ස්ථාපිත කර ඇති අතර ආරම්භයේදී අලි 9 දෙනෙකුගෙන් සමන්විතව මෙය ආරම්භ කරන ලද්දේ අලි අනාථාගාරයක් මෙන්ම ප්‍රදර්ශනාගාරයක් ද වශයෙනි.

නමුත් ආරම්භයේ දී තිබූ ප්‍රධාන ගැටළුව වූයේ සංචාරකයින් මෙය නැරඹීමට පැමිණෙන්නේ ද යන්නයි. ප්‍රධාන මාර්ගයට තරමක් ඈතින් පිහිටා තිබීම ඊට හේතු විය. නොයෙක් හේතු සාධකයන්වල බලපෑමෙන් අනාථභාවයට පත් වූ අලි ඇතුන්ට රැකවරණය සැලසීම මෙම මධ්‍යස්ථානයේ මුඛ්‍ය පරමාර්ථය යි. මෙහි සිටින අලි-ඇතුන් අනාථභාවයට පත්වූ ආකාර කිහිපයක් හඳූණාගත හැකි වෙයි.

ස්වාභාවික හේතු නිසා කුඩා කල අනාථභාවයට පත්වීම
මව් ඇතින්නිය මියයාම
මිනිසුන්ගේ අකාරුණික භාවය හා කෲර ක්‍රීයාකාරකම්

ලෝකයේ ඇති දැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන ලෙස පින්නවල වැදගත් වන අතර විවිධ වයස් ප්‍රමාණ වලට අයත් විශාල අලි ප්‍රමාණයක් එකවර දැකගත හැකි ලෝකයේ එකම ස්ථානය වශයෙන් මෙය සුවිශේෂී වේ. ඉහත දැක්වූ පරිදි විවිධ හේතූන් නිසා අනාථවන අලි ඇතුන් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයට භාරදීමෙන් අනතුරුව ඔවුන් රැක බලා ගන්නට කටයුතු කරන අතර‍ම මහජනයාට නැරඹීමට ද ඉඩකඩ සලසා දෙයි. පින්නවල අලි අනාථාගාරය ජීවී කෞතුකාගාරයක් ලෙස දැක්විය හැකි අතරම පර්යේෂණාගාරයක් වශයෙන්ද වැදගත් වේ. එසේම මෙහි කලින් කලට අලි ඇතුන් උප්පත්තිය ලබන බැවින් අලි අභිජනන මධ්‍යස්ථානයක් වශයෙන් ද මෙය වැදගත් වේ. මෙවැනි හේතු සාධක හේතුවෙන් පින්නවල අලි අනාථාගාරය පිළිබඳව සැලකිය යුතු පරිදි පර්යේෂණ වාර්තා ගණනාවක් හා පොත්-පත් විශාල ප්‍රමාණයක් විවිධ භාෂා මාධ්‍ය ඔස්සේ ලිය වී තිබේ.

ccf.gov.lk

Scroll to Top