මධ්‍යම පළාතේ ක්‍රියාත්මක පාරම්පරික කිතුල් කර්මාන්තයට නිසි පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම හේතුවෙන් කිතුල් ආශ්රිත නිෂ්පාදනයේදී වැඩි කිතුල් ගස් ප්‍රමාණයක් භාවිතයට නොගන්නා බව කිතුල් කර්මාන්තකරුවෝ කියා සිටිති.
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල කිතුල් ආශ්රිත නිෂ්පාදන අතරින් හකුරු, චොක්ලට්, පැණි සහ තෙලිජ්ජ නිපදවයි. කිතුල් නිෂ්පාදන සඳහා මේ වන විට හොඳ මිලක් පැවතියද කිතුල් ගස් මදින්නන්ගේ හිඟය හේතුවෙන් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි නිෂ්පාදකයෝ කියා සිටිති.
මාතලේ දිස්ත්‍රික්කයේ අවසර ලත් කිතුල් නිෂ්පාදන අලෙවිකරුවන් කිහිප දෙනකුගෙන්ම මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලදී ඔවුන් කියා සිටියේ සිය නිෂ්පාදන අලෙවිය සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවයි. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් භාවිතයට නොගන්නා කිතුල් ගස් දෙදහසක් පමණ මේ වන විට අතහැර දමා ඇත්තේ රා මැදීම සඳහා පුද්ගලයන් නොමැතිකමින් බව ද ඔවුහු පෙන්වා දෙති. කර්මාන්තය පවත්වාගෙන යන පිරිස් හට විවිධ අවස්තාවලදී රජය මඟින් උපකරණ ලබා දීම් සහ අවශ්‍ය පුහුණුව ලබා දී ඇතැත් එය ප්‍රමාණවත් නොවන බැව් කියා සිටි කිතුල් නිෂ්පාදකයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ තමන් බොහෝ විට අනුගමනය කරන්නේ පාරම්පරික ගස් මැදිමේ ක්‍රියාවලියක් බවයි.
ගස් නැඟීමේදී භාවිතයට ගන්නා ආරක්ෂිත බඳ පටි, මල් කැපුම් උපකරණ හා කිතුල් කැපීම සම්බන්ධයෙන් පවත්නා විද්‍යාත්මක දැනුම ආදිය තමන්ට නොමැති බව ද ඔවුහු කියා සිටිති. ඇතැමෙක් කියා සිටියේ තමන්ට ලැබුණු ආරක්ෂිත බඳ පටි පවා භාවිතයට නොගන්නා බවයි. මාතලේ දිස්ත්‍රික්කයේ මහතලාපිටිය, රත්තොට, නාඋල, රණමුරේ සහ රිවස්ටන් ආදී ප්‍රදේශවල කිතුල් කර්මාන්තය බහුලව සිදු කරයි. නිසි පුහුණුවක් නිසි ආකාරයට තමන්ට ලැබෙන්නේ නම් කිතුල් කර්මාන්තයෙන් මධ්‍යම පළාත පළමු ස්ථානයට ගෙනඒම ඉතා පහසු කාර්යයක් බව කියා සිටින කර්මාන්තකරුවන් ඉල්ලා සිටින්නේ සිය කර්මාන්තය සම්බන්ධයෙන් රජයේ නිසි අවධානය යොමු විය යුතු බවයි.