වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන්ගේ 209 වැනි ගුණ සැමරීම පෙරේදා (2) උන් වහන්සේගේ ජන්ම භූමිය ලෙස සැලකෙන වාරියපොළදී සිදු කෙරිණ.
1815 මාර්තු 02 වැනි දින මහනුවර මගුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ කතිර කොඩිය එසවීමට විරෝධය දක්වමින් එම කොඩිය බිම හෙළා නැවත සිංහ කොඩිය ඔසවා ජාතියේ වීරත්වය විදහා පෑ සුමංගල අනුනාහිමියන්ගේ එම වීර ක්‍රියාවට 2 වැනි දිනට වසර 209ක් සපිරේ. සෑම වසරකම මාර්තු 2 දින එම ක්‍රියාව සිහිකර වාරියපොළ නගර මධ්‍යයේ පිහිටි සුමංගල අනුනාහිමි පිළිරුවට පුෂ්පෝපහාර පිදීම සිදු කෙරේ.
වාරියපොල සුමංගල පිරිවෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අස්ගිරි විහාරයේ කාරක සංඝ සභික මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන් ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.