මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා එක් එක් අංශ යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු 3ක් පත් කළ බව ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි.
එහි ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළේ , ඒ අනුව එක් අනු කමිටුවක් මගින් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ ව්‍යවස්ථාපිත නීති රාමුව පිළිබඳ යෝජනා සලකා බලා නිර්දේශ ඉදිරිපත් කරන බවයි.
තවත් අනු කමිටුවකින් මාධ්‍ය උපමාන, කාන්තා නියෝජනය ආදි කරුණු අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කරනු ඇති.
ලේකම්වරයා ප්‍රකාශ කළේ තවත් අනු කමිටුවකින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අපේක්ෂකයින්ගේ හා දේශපාලන පක්ෂවල කාර්ය භාරය, චර්යා ධර්ම පද්ධතියක් පිළියෙල කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන බවයි.
මෙම නිර්දේශ ලැබුණු පසු නව මැතිවරණ ක්‍රමය සම්බන්ධ මූලික කෙටුම්පත සකස් කිරීම ආරම්භ කරන බවද මාධව දේවසුරේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ය.
ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය හා ඇස්ටෝනියාව යන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රම පවතින රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනය මේ වනවිට සිදු කෙරෙන බවද ඔහු පැවසුවේ ය.
එම මැතිවරණ ක්‍රම මගින් මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි ආදර්ශ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ බවද ඔහු සඳහන් කළේ ය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 15 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
එදිනට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවේ ය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ඔක්තොම්බර් මස 15 වැනිදා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කළේ හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් ය.