Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

21 හැවිරිදි කොලු ගැටයා නොවන්නට වසන්තය යනවා සත්තයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවමත් 21 හැවිරිදි වියේ පසුවන මතීෂ පතිරණ සිය වයසට වඩා රට වෙනුවෙන් කරට ගත් මහා වගකීම අකුරට ඉටු කරමින් දඹුල්ලේදී පැවති පළමු පිරිමි 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වුණා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය 20,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසකගෙන් පිරී ඉතිරී ගිය අතර ක්‍රීඩාංගණය අවට ගස් උඩ පවා ප්‍රේක්ෂකයින් රැඳී සිටිමින් ජය ඝෝෂා නැංවූයේ ලක් මවගේ ජයග්‍රහණය වෙනුවෙන්.
සිය දෙවන ජාත්‍යන්තර 20යි 20 තරගය ක්‍රීඩා කළ මතීෂ පතිරණ අවශ්‍යම මොහොතේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවෙන් ගිලිහීමට ගිය ජයග්‍රහණය යළි අපවෙත හරවා දීමට සමත් වුණේ ඇෆ්ගනිස්ථාන බලාපොරොත්තු සුන් කරමින්.
එදා 2022 අගෝස්තු 27වැනිදා ඩුබායිහිදී සිය 20යි 20 ජාත්‍යන්තර වරම් දිනාගත් මතීෂට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ අතර තරගයේ පරාජය ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.
ඒ අනුව, සිය ජාත්‍යන්තර 20යි 20 පිටියේ මංගල කඩුල්ල පවා මතීෂ ද⁣වා ගනු ලැබුවේ අදයි. ඒ Azmatullah Omarzaiගේ කඩුල්ලයි. එලෙස දස්කම් දැක්වූ මතීෂ අද තරගයේ වීරයා සම්මානය පවා දිනා ගත්තා.
අභියෝගාත්මක 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මේ පුංචි කොලු ගැටයා ලකුණු 4ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ඇෆ්ගනිස්ථාන ඉනිමේ 8වැනි සහ 9වැනි කඩුලු දෙක ද⁣වා ගත්තේ එක් අන්තයක හුදකලා සටනක නිරත වෙමින් සුපිරි පිතිහරඹයක නිරත වූ නායක ඊබ්‍රාහිම් සද්‍රාන්ගේ ජයපැන් බ⁣ලාපොරොත්තු කඩ කරමින්.
අනතුරුව අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය සඳහා එක් කඩුල්ලක් අතැතිව ලකුණු 11ක් ලබා ගැනීමට තිබූ ඇෆ්ගනිස්ථානයට ලකුණු 6කින් පමණක් සෑහීමකට පත් වීමට සිදු වූයේ ‘රාගම රැම්බෝ’ හෙවත් බිනුර ප්‍රනාන්දුගේ කල්පනාකාරී පන්දු යැවීම හේතුවෙන්.
සිය පන්දුවාර 4 තුළ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත් මතීෂ පතිරණ අවශ්‍යම මොහොතේ පන්දු රැකීමෙන් ද ක්‍රියාත්මක වෙමින් මැතිව්ස්⁣ගේ පන්දු යැවීම හමුවේ ගුර්බාස් ලබාදුන් අපහසු උඩපන්දුව මැනවින් රැක ගැනීමට සමත් වුණේ ලාංකික ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින්.
අද තරගය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම වෙනදාටත් වඩා ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක්. එලෙස විශිෂ්ට ලෙස පන්දු රැක්කේ නැත්නම් මේ තරගය බේරා ගැනීමට ලෙහෙසි වන්නේ නැත.
දඹුල්ල තණතීරුවේ කාසියේ වාසියේ අහිමි වූ ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට හැකි වූයේ පන්දුවාර 19ක් පමණයි.
මුල්පෙල සහ පසුපෙල කඩා වැටීම හමුවේ ශ්‍රී ලංකා සියලු පිතිකරුවන් තවත් ලකුණු 20ක් 25ක් පමණ මදි පාඩුව තිබියදී ලකුණු 160කට දැවී ගියා.
සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ අපහසු උඩපන්දුවක් රැකගත් ගුර්බාස් විසින් පැතුම්ව ලකුණු 6කට හරවා යැවීමට සමත් වුණා. හයේ පහරකුත් එල්ල කර ලකුණු 10ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ඉවසීමෙන් තොරව එල්ල කිරීමට උත්සාහ කළ අනවශ්‍ය ඩිල්ස්කූප් පහරක් නිසා සිය කඩුල්ල ප්‍රතිවාදීන්ට පූජා කිරීමට කිරීමට සිදුවුණා. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 55ක් තුළ දැවී ගියේ පැරණි කඩා වැටීමේ මතකයන් යළි යළිත් අපවෙත සිහි ගන්වමින්ය.
අනතුරුව වෙනදාට වඩා පිතිකරු ලැයිස්තුව තුළ වේලාසනින් පිටියට පැමිණි නායක වනිඳු හසරංග, සදීර සමරවික්‍රම සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම පියවරෙන් පියවර ගොඩනැගීමට සමත් වුණේ 5වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක විශිෂ්ට සබඳතාවක් ගොඩනංවමින්. එම සබඳතාව නොවන්නට ශ්‍රී ලංකා ඉරණම මීට වඩා කණගාටුදායක වන්නට තිබුණා. පන්දු 24ක් තුළ වේගවත් අර්ධ ශතකයක් රැස් කළ වනිඳු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 67ක් ලබා ගත්තා. දුවද්දී දැවී යාමකට හසු වූ සදීරගේ ඉනිම ලකුණු 24කට සීමා වුණා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 33ක් තුළ බිඳ වැටුණා. ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි.
ඇෆ්ගනිස්ථාන ඉනිම තුළ සුපිරි සටනක් දුන් නායක ඊබ්‍රාහිම් සද්‍රාන් නොදැවී 67ක් ලබා ගත්තේ විටෙක ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බලාපොරොත්තු මෑත් කරමින්. දසුන් ශානකගේ පන්දු යැවීම හමුවේ මොහොමඩ් නබී ලකුණු 9කට දැවී යාමත් තරගයේ තවත් එක් හැරවුම් ලක්ෂයක්.
අවසානයේ සියලු සාධක ශ්‍රී ලංකාවේ වාසියට සිදුවෙමින් අද දිනයේ ජයග්‍රහණයේ වාසනාවන්තයින් බවට අප පත් වුණා. නමුත් තරගකාරී 20යි 20 තරග රටාව තුළ මෙවැනි පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල අප මීට වඩා පිත්තෙන් දස්කම් දැක්විය යුතුමයි. එසේ නොවන්නට ඉන්දියාව, පකිස්ථානය, එංගලන්තය, ඔස්ට්‍රේලියා වැනි අති ප්‍රබල කණ්ඩායම් ඉදිරියේ ජයග්‍රහණයනම් ලෙහෙසි වන්නේ නැත. හැබැයි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද කිසිසේත් අවතක්සේරු කළ නොහැක.

Thank you for reading this post, don't forget to subscribe!

චතුරංග රාජපක්ෂ – fb

Scroll to Top