Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142ක් බවට පත් වේ.

බුද්ශ ශාසනය ආරක්ෂා කර ගනිමින් එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් බෞද්ධාගමික අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කිරීමටත්, මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සහ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සඳහන් කළේය.

විද්‍යෝදය පරිවෙණාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහෝපද්‍යාය අමරපුර චූලගන්ඨී පාර්ශ්වයේ මහානායක සාහිත්‍ය ශුරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත ගංතුනේ අස්සජි මහා නායක හිමිපාණන් වහන්සේ, ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාල පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමිපාණන් වහන්සේ මෙහි මුලසුන හෙඹ වූ අතර පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සහ පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානයන්හි දායක දායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පූජා භූමි සන්නස්පත්‍ර පිළිගැන්වීමට පෙර මෙම අවස්ථාවට වැඩම කළ මහා සංඝරත්නය විෂයයෙහි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දානමය පුණ්‍යකර්මයක් ද සිදු කෙරිණි.

Scroll to Top