දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන කොහු කර්මාන්තයේ ගුදිරි මෙට්ට නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි වීම නිසා මේ වනවිට දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිති.
වෙළෙඳපොළට විවිධ මාදිලියේ නවීන ආදේශක මෙට්ට පැමිණීමත් සමඟ තම ගුදිරිමෙට්ට සඳහා ඇති ඉල්ලුම නැත්තටම නැති වී ඇතැයිද ඒ හේතුවෙන් තම දෛනික ජීවන වියදම සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇතැයි ද ඔවුහු පවසති. අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ගුදිරි මෙට්ට නිෂ්පාදනය කර පාපැදියෙන් රැගෙන ගොස් අලෙවි කරමින් සිව් දෙෙනකුගෙන් යුත් දරු පවුලක් නඩත්තු කළ 78 හැවිරිදි බටපොල පියසේන මහතා පවසන්නේ දවසට කිලෝමීටර් 50ක් පමණ විවිධ ප්‍රදේශවල පාපැදියෙන් ගුදිරි මෙට්ට රැගෙන ගියද දින ගණන් එකක් හෝ අලෙවි කර ගත නොහැකිව ආපසු පැමිණෙන බවයි. මේ කර්මාන්තයේ නියුතු තමා වැනි අසරණ අය ගැන රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් එය ඉතා වටිනා කාරණයක් බව ද ඔහු පවසයි.