සීගිරිය දමනයාය ප්රදේශයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක පවත්වාගෙන යන තිරිවාණා නිධියක් හා පදියන් පාෂාණ කැණීම් හේතුවෙන් ප්රදේශයේ ජනතාවට මෙන්ම වන සතුන්ටද කලක සිට පීඩා විඳින්නට සිදු වන බව පවසමින් ප්රදේශවාසීහු ඊයේ (11) විරෝධතාවයක නිරත වූහ.
මොරගොඩ මූකලාන රක්ෂිතයේ පරිසරයට හානි වන අයුරින් කරන මෙම කැණීම් ස්ථාන හතක් හේතුවෙන් ඊයේ උදෑසන ප්රදේශවාසීන් නොසන්සුන් තාවයකට පත් වී එම ස්ථානවලට ගොස් එහි සිදු වන පරිසර විනාශය පිළිබඳව අදහස් දැක්වූ අතර රක්ෂිත භූමිය තුළ මහා පරිමාණයෙන් පරිසරය විනාශ වන අයුරින් වටිනා ශාක, දැව, බෙහෙත් පැළෑටි රාශියක් විනාශ කර ඇති ආකාරය ද පෙන්වා දෙන්නට විය. රක්ෂිතය මැද පොළව යටට අඩි 250ක් පමණ කැණීම් කොට ඒවා ජලයෙන් පිරීම නිසා අත් හැර දමා ගිය ආකාරය ද එම ස්ථාන ඉතා අවදානම් කලාප බව ගම්මු පෙන්වා දෙති.
ප්රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටින්නේ වනසංරක්ෂණ නිලධාරීන් ප්රමුඛ නිලධාරීන් අත යට ගනු දෙනු මඟින් මෙම පාරිසරික ස්ථාන සඳහා බලපත්ර නිකුත් කරන බවයි.
විරෝධතාවය පැවති ස්ථානයට වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණීමත් සමඟ ගම්මුන් අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර ගම්මුන්ගේ චෝදනාව වූයේ නීති උල්ලංඝනය කරමින් රජයේ සේවකයන් ක්රියා කරන බවය.
ප්රදේශවාසීන් එම ස්ථානවලට යන මොහොතේ කැණීම් කරන කණ්ඩායම් බැකෝ යන්ත්ර යොදා ගනිමින් කැණීම් සිදු කරමින් සිටිනු දැක ගැනීමට හැකි විය. මෙම ස්ථානවල කැණීම්වලට අමතරව පදියම් නමැති පාෂණ සොයා පතල් කැණීම් සිදු කළ ස්ථාන ද ප්රදේශවාසීන් පෙන්වා දෙන්නට විය. බලපත්ර කොන්දේසි උල්ලංඝනය වන පරිදි මෙම පරිසර විනාශය සිදු කළ සේවකයන් හා ප්රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විණි. පැමිණි වනසංරක්ෂණ නිලධාරියාට ද ප්රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වීමත් සමඟ සීගිරිය පොලිසිය මැදිහත්වීම මත තත්ත්වය පාලනය කරන්නට හැකි විය. ප්රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බලපත් ඇතිව හෝ නැතිව සිදු කරන මේ දැවැන්ත පරිසර හානිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කොට ප්රදේශයට ඇති මාර්ග සහ මෙම වටිනා රක්ෂිතය බෙරා දෙන ලෙසයි.
මේ පිළිබඳව මාතලේ දිසා වන නිලධාරී අසෝක හේරත් මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම ස්ථානයට ඒකාබද්ධ පරීක්ෂණයකින් බලපත්ර ලබාදී ඇති බවත් බලපත්ර කොන්දේසි කඩකර ඇතිද යන්න සොයා බලන බවත්ය.