Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

”ඔයාට බැරිද ඒ බෙහෙත ලේන්සුවකට දාලා මගෙ නහයට අල්ලන්න… අනේ මම බයයි රිදෙනවට…”

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රැකියාව කුමක් වුණත් ඒ ඒ රැකියාවන් ඇතුළෙ තම තමන්ට ආවේණික හරි සුන්දර අත්දැකීම්, මතකයන් ශේෂව පවතිනවා.

රැකියාවෙන් විශ්‍රාම ගිය දවසක වුණත් මතක් කරලා රසවිඳින්න පුළුවන් වෙන්නෙ, සිහින් සතුටක් ලබන්න හේතු කාරණා සපයන්නෙ ඒ මතකයන්.

විශේෂම දේ තමයි රැකියාව මොකක් වුණත් ඒ තුළ තමන්ට මුණගැහෙන හැමෝටම කාරුණික විය හැකි මානුෂීය හිත් ඇත්තෙක් වෙන්න.

සමාජ මාධ්‍යයේ හුවමාරු වන මේ කතාව ඔබට මට දෙන්නෙත් ඒ පණිවිඩයමයි.

ඉහත කී කතාව සෑම වෘත්තියක් හා සැසඳුණාට මොකද වෛද්‍ය වෘත්තිය ඉන් විශේෂයි.

මොකද ඒ තුළ ඇති සේවය ”බෙහෙතටම” විතරක් සීමා නොවන නිසාවෙන්.

”නිරිවින්දන වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කරන මා හට එම සේවා කාලය තුල ලැබුන අතිශයින්ම වටිනා තෑග්ග සහ මා ඉතාමත් සංවේදි බවට පත්කල සිදුවීමක් සම්බන්ධව ලියන්න හිතුවා.

කතාවේ කතා නායිකාව වෙන්නේ අවුරුදු 7ක හුරුබුහුටි දියණියක්.

නමින් අභිලාෂිනි වන ඇය මට හමුවන්නේ ඇයගේ ශල්‍යකර්මයක් සඳහා මවත් සමග පොළොන්නරුව පුද්ගලික රෝහලක ශල්‍යාගාරයට පැමිණි අවස්ථාවේදි.

හැසිරීමෙන් මුලසිටම ඉතා කටකාරකමක් පෙන්වු ඇයත් සමග මම කතාවට වැටුනේ ශල්‍යාගාරය තුලට යාමේදි පුන්චි සිත්වල ඇතිවෙන බිය සැක ගැන ඕනෑතරම් මට අත්දැකීම් ඇති නිසා, යම් තරමකින් හෝ මේ පුංචි දියණියගේ හිත ඉන් මුදවාලීමේ අදහසිනි.

මෙතැන් සිට ලියන්නේ ඇය හා මා අතර සිදුවූ සංවාදයයි..

මම- බබා ඉස්කෝලෙ යනවද?

ඇය- ඔව්. (ඉතා පැහැදිලිව ඇය කියයි)

මම- ඔයා කීවෙනි පංතියේද ?

ඇය- තුනේ.. (එය හරි නේද යන්න තහවුරු කරන්න මෙන් ඇය මව දෙසත් බලයි)

මම- ඇයි ඔයා අද මෙහෙ ආවේ..?

ඇය- මගේ බඩේ ඔපරේෂන් එකක්..

(ඇය පැමිණ සිටියේ ඊට පෙර ඇයට සිදුකල හර්නියා ඔපරේෂන් එකකට පසුව ඉතිරිවී තිබුන මැහුමක් ඉවත් කර ගැනීමට)

මම- ආ.. ඒක එහෙම ලොකු ඔපරේෂන් එකක් නෙවේ. ඒක පොඩි වැඩක් …

ඇය- මට රිදෙයිද ඒක කරද්දි?

(ලෝකයේ ඕනෑම රටක සේවය කරන නිර්වින්දන වෛද්‍යවරයෙකුට මුහුණ පෑමට සිදුවන ලොකුම අභියෝගයට මටත් මුහුණ දෙන්න සිදුවිය.)

මම- ම්ම්ම්.. එහෙමම රිදෙන්නේ නැහැ බබෝ.. මෙන්න මේ වගේ චූටි කූඹියෙක් කනවා වගේ චුට්ටක් දැනෙයි.

(එසේ කියා මම ඇගේ අත යාන්තමට කෙනිත්තුවෙමි)

ඇය- අනේ මම බයයිනේ එහෙම රිදෙන එකටත්..

මම- අනේ එහෙම නැතුව මට ඔයාව නිදිකරවන්න බැහැනේ. ඔයා ඒ චූටි කැක්කුම ඉවසගෙන හිටියොත් ඊට පස්සෙ ඔයාට සනීපෙට නින්ද යනවා ආයේ මොනවත් දැනෙන්නේ නැහැ.. එහෙම හා නේද?

ඇය- අනේ බෑ මම බයයි රිදෙනවාට.

මම- එහෙනම් මොකද කරන්නේ..

ඇය- ඔයා මාව නිදිකරවන්නේ බෙහෙතක් විදලද

මම- ඔව් නේ

ඇය- ඔයාට බැරිද ඒ බෙහෙත ලේන්සුවකට දාලා මගෙ නහයට අල්ලන්න..

( මට උඩ විසිවිනි. මේ පුංචි කෙල්ල ඇනස්තීසියා ගැන මෙච්චර දැනුමක්)

මම – එහෙමත් පුලුවන් නම් තමා .. ඒත් දැන් එහෙම කරන්නෙ නෑ..

(මම සිනාසෙමින් ඇයට කීවෙමි. ඒත් මට අතිවූ කුතුහලය නිසාම..)

මම- ඔයා ඇයි මගෙන් ඇහුවේ ලේන්සුවක් නහයට අල්ලන කතාවක්.. ඔයා කොහෙදිද එහෙම දැකලා තියෙන්නේ..?

ඇය – ඇයි කාටූන් වල එහෙම කරන්නේ..

(කිසිම පැකීළීමකින් තොරව ඇය කියයි. ඇත්තටම අප නොසිතුවාට කාටූන් ළමා මනස තුලට කොයිතරම් බලපෑම් කළහැකි මාධ්‍යයක්ද මම මටම කියාගත්තෙමි. එය පසකට තැබූ මම නැවත ඇය හා කතාව පටන් ගත්තෙමි.

මම- එහෙනම් එහෙම කරමු. මම ඔයාට බැලූන් එකක් දෙන්නම්..ඔයා ඒක පිඹින්න එතකොට නින්ද යයි.. එහෙම කමක් නැහැනේ නේද?

(ඇය සිනාසෙමින් දෙපසට ඔලුව වැනුවේ හා කියනවා වෙනුවටය. දැන් මගේ අදහස ඇයව නිර්වින්දන වායුවක් හුස්ම ගැනීමට සලස්වා නිදිකරවා ගැනීමය. (Inhalational induction)

ඇය- එහෙම කරනකොට ඔයා මට ඉන්ජෙක්ෂන් ගහන්නෙම නෑ නේද?

(ආයෙම මම මොහොතක් ගොළු වීමි. මම කොහොමද මේ පුංචි හිත් වලට බොරු කියන්නේ.. මම සිතාගෙන ඉන්නෙ ඇයට නින්ද ගියාට පසු Cannula එක දැමීමය)

මම- මෙහෙමයි.. ඔයාට දැනෙන්න ඉන්ජෙක්ෂන් ගහන්නෙ නැහැ. හැබැයි ඔයාට නින්ද ගියාට පස්සෙ මම පොඩි කටුවක් විදිනවා. ඒක ඔයාට දැනෙන්නේ නැහැ.

ඇය- හා එහෙනම් කමක් නෑ. හැබැයි ඔයා පොරොන්දු වෙන්න ඕනේ මට නින්ද යන්න කලින් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ කියලා..

මම- හරි මම ඒක පොරොන්දු වෙනවා

(එහෙම කියලා මම ඇයගේ අතට අත තියා පහක් දැමුවෙමි. ඇයද ඉතා සතුටින් ඊට ප්‍රතිචාර දැක්වීය)

දැන් සියල්ල පොරොන්දු වී හමාරය. මට ඇයව ශල්‍යාගාරයේ ඇතුලට රැගෙන යා යුතුව ඇත.

මම- බබා යමුද එහෙනම් ඔපරේෂන් කාමරය ඇතුලට?

ඇය- හා

මම- අම්මට එලියේ ඉන්න කියලා ඔයා එනවද මගෙත් එක්ක ඇතුලට යන්න..

ඇය- හා.. (කිසිම පැකිළීමකින් තොරව ඒ කුඩා දියණිය මගෙත් එක්ක ඔපරේෂන් කාමරය ඇතුලට පැමිණියාය. ඉන්පසුව එම ඇඳෙහි හාන්සි වූ පසු මම ඇය නිදි කරවන්න පොරොන්දු වූ ආකාරය සඳහා යොදාගන්නා බෑගය හා මාස්ක් එක පෙන්වීමි. [ Anaesthetic paediatric breathing system and mask]. මේ සමග ඇති එක් ඡායාරූපයක් මා ගත්තේ ඒ මොහොතේදීය. සියල්ල සූදානම් කරමින් සිටියදී

ඇය- අපෙ අම්මට ටිකක් කතා කරමුද?

මම- ඇයි පුතේ.. දැන් අපි නිදියන්නනේ ලෑස්ති.

ඇය- ඒ වුනාට මට පොඩි බයක් දැනෙනවා.. (සුපුරුදු කටකාර කමින්ම ඇය කියයි)

එනිසා මම ඇයගේ මව නැවත ශල්‍යාගාරය ඇතුලට ගෙන්නා ගත්තෙමි.

මම- දැන් හරිනේ එහෙනම් නිදියමු. මේ මාස්ක් එකට හොඳට හුස්ම උඩට පහලට ගන්න..

ඇය- ඔයා මට නින්ද යනකන් රිදවන්නෙ නෑ නේද ?

මම – නැහැ පොඩ්ඩක්වත් නෑ මම කිව්වනේ ඔයාට.. (තව දුරටත් මම ඇයව අස්වසාලීමි, ඇය එය පිළිගත්බව අඟවමින් හිස වැනීය). නිර්වින්දන වායු [anaesthetic inhalational vapors]ආශ්වාස කල ඇය විනාඩි කීපයකින් නින්දට වැටුනි.

ඉන්පසු ඇයගේ අතට IV Cannula වක් ඇතුල් කරගත් අතර අතර විශේෂඥ ශල්‍යවෛද්‍යතුමා විසින් අවශ්‍ය වූ ශල්‍යකර්මය සිදුකලේය.

ඉන් අනතුරුව යළි ප්‍රකෘති සිහිය ලබා ගැනීමෙන් පසු දැරිය ඇයගේ මවට බාර දී අදාල වාට්ටුවට යොමුකළේය.

මා සිතුවේ එම කතාව එතනින් අවසන් වනු ඇති බවය. නමුත් සතියකට පමණ පසු සිදුවූ සිදුවීමක් නිසා මුල් කොටස කතාවේ පළමු පරිඡේදය බවට පත් වී පහත සටහන එහි දෙවෙනි පරිඡේදය විය.

ඒ සතියකට පමණ පසු නැවත මා එම ඔපරේෂන් theatre එකට ගිය මොහොතයි. එහි සේවය කරන හෙදියක් පැමිණ සර්ට patient කෙනෙක් පොඩි පාර්සල් එකක් ගෙනත් දුන්නා. සර්ටම දෙන්න කිව්වා. පොඩි දුවක් ආවේ අම්මත් එක්ක. ඇත්තටම එදිනෙදා හමුවන බොහෝ රෝගීන් අතර ඒ කවුදැයැයි කියා මට නිශ්චිත මතකයක් මුලින්ම තිබුනේ නැහැ. එමනිසාම මම ඒ හෙදියගෙන් කවුද ඒ ආවෙ කියා විමසුවා. ඇයි සර්ට මතක නැද්ද අර ගිය සතියෙ ආව කටකාර පුංචි කෙල්ල සර් එක්ක ගොඩාක් කතාකලේ.. නම අභිලාෂිනි.

ආ මට මතකයි.. හුරුබුහුටි කෙල්ල..

ඉන්පසුව මම ඇය මට ගෙනත් දී තිබුන පාර්සලය විවෘත කලෙමි. (මේ සමග ඇති අනිත් ඡායාරූපවල තියෙන්නේ ඒ තෑග්ග සහ ඒ සමග තිබූ ලියුමයි).

ඇත්තටම ඒ වචන ටික හරිම සංවේදි යි.

මගෙ ඇස්වලට කඳුලු ආවේ ඒ තුල අඩංගුව තිබුන නිර්ව්‍යාජකම සහ අහිංසකම නිසාමයි.

ඒත් මම දැන් කොහොමද ඒ කුඩා දියණියට ඒ තෑග්ග මට ලැබුනා..

මම ගොඩාක්ම ආසයි සහ ස්තුතියි කියන්නේ..

එතකොට මට මතක් වුනා එදා admission එකේ එයාලගෙ contact number තියෙනවානෙ කියන දේ.

මම වහ වහා ඒ ticket එක නැවත සොයාගෙන එහි තිබූ ටෙලිෆෝන් නම්බරයකට කතා කලෙමි. දුරකතනයේ අනිත් පසින් හෙලෝ කියත්ම..

මම- හෙලෝ.. මේ අභිලාෂිනි දුවගෙ කවුරුහරිද කතා කරන්නේ..?

දුරකතනය- ඔව් මම අභිලාෂිනිගේ අම්මා..

මම- අම්මෙ මම එදා ඔපරේෂන් එකට දුවව සිහිනැති කරපු ඩොක්ටර්.. දුව මට තෑග්ගක් එවලා ..ඒකට ස්තුති කරන්න ගත්තේ..

මව- ආ ඩොක්ටර් කතා කරපු එක කොච්චර ලොකු දෙයක්ද ..දුවට ඩොක්ටර් බලන්න යන්න ඕනෙම කිව්වා.. තෑග්ගක් දෙන්නත් ඕනෙම කිව්වා..ඔය තෑග්ග එයාම පාර්සල් කරලා ලියුමකුත් ලිව්වා. ඒත් අපි hospital ආවට ඩොක්ටර් හම්බවෙන්න බැරිවුනා. දුව දුකෙන් ආපහු ආවේ. මෙතන දුව ඉන්නවා ඉන්න දෙන්නම් ෆෝන් එක..

මම – හා දෙන්න ටිකක්

දුරකතනයේ අනිත් පස අර සුපුරුදු කටකාර කටහඬ ආයෙමත්..

ඇය- හෙලෝ මාමෙ.. ඔයාට මගෙ තෑග්ග හම්බවුනාද?

මම- ඔව්

ඇය- ඒක ලස්සනයිද

මම- ඔව් ගොඩාක් ලස්සනයි

ඇය – අපි ඔයාව බලන්න ඊයේ ආවා. ඒත් ඔයා හිටියේ නෑ

මම- එහෙනම් ආයිත් එන්න. හෙට මම ඉස්පිරිතාලෙ ඉන්නවා. උදේට එන්න.

ඇය- හා අපි එන්නම්.

කියු විදිහටම ඇය අම්මත් එක්ක පසුදින මාව බලන්න ආවා.

මේ සමග ඇති එක් ඡායාරූපයක් මම ගත්තේ ඒ වෙලාවේ..

ආයිමත් ඇය මා එක්ක කියවන්න වුණා. කියවූ බොහෝ වදන් අතර මගෙ හිතට කා වැදුනු දෙබස් කීපයකින් මේ කතාව අවසන් කරන්නම්.

ඇය- මාමා මට හැමදාම මාමව බලන්න එන්න බැරිද.?

මම- පුලුවන් ඔයා එන්න.

(ඇය අහිංසකව සිනාසෙයි.)ඒත් මට ලබන සතියේ පොළොන්නරුව රෝහලෙන් ස්ථාන මාරු ලබා යාමට ඇති බව එක් වරම මතක් විය.

මම- පුතේ හැබැයි මම තව ටික දවසකින් මේ ඉස්පිරිතාලෙන් අස්වෙලා ඈත ඉස්පිරිතාලෙකට යනවනේ.

ඇය- අනේ යන්න එපා. ඔයා ගියොත් මට දුක හිතෙයි.

මම- ඔයා දුක හිතාගන්න එපා. මම හිටියෙ නැත්නම් ඔයා මට call එකක් දෙන්න..

ඒ යෝජනාවට ඇයගේ මුහුණ හිනාවෙන් පිරිලා ගියා.. ඒත් එක්වරම

ඇය- මාමගෙ නොම්මරේ 5 ඉලක්කම තියෙනවද?

(ඇය ඉතා ඕනෑකමින් අසා සිටියා. ඒ අමුතු ප්‍රශ්නය මට ඇතිකලේ හරිම කුතුහලයක්.)

මම- ඔව් පහේ ඉලක්කම් දෙකක්ම තියෙනවා.. ඇයි එහෙම ඇහුවේ

(මගෙ නොම්මරේ 0777##5##5)

ඇය- එහෙනම් හරියන්නෑ මාමේ..

(ඇය ආයිමත් දුකෙන් වගේ කිව්වා.)

මම- ඇයි මොකක්ද ප්‍රශ්නේ..

ඇය- අපේ ෆෝන් එකේ පහේ ඉලක්කම වදින්නේ නෑ.

(මම මොහොතකට ගොළුවුනා..ඒ අහිංසක හිතට දෙන්න ඕනෙ විදිහෙ පිළිතුරක් මගෙ ලඟ තිබුනේ නැති නිසා).

මම- කමක් නෑ ඔයා මට ආයෙත් ලියුමක් එවන්න. මෙන්න මගේ ඇඩ්‍රස් එක.

(මම ඇයට මගේ ලිපිනය ලියා දුන්නා)

මමත් ඇයට පුන්චි තෑග්ගක් ගෙනත් තියාගෙන හිටියා. ඒ පොඩි සුරතල් බලු බෝනික්කෙක්.

මම- මේ…තෑග්ග ඔයාට

ඇය- ඇයි ඔයා මට තෑගි දෙන්නෙ..?

මම- මමත් ඔයාට කැමති නිසා..

ඇය- එහෙම කියලා ඔයා මට තෑගි දෙන්න ඕනෙ නෑ.. මම ඔයාට තෑග්ගක් ගෙනාවේ ඔයා කියපු පොරොන්දුව ඉෂ්ට කරලා මට රිදෙව්වෙ නැති නිසා.. පැහිච්ච ලොකු මනුස්සයෙක් විදිහට ඇය මට කරුණු පහදයි..

තවත් බොහෝ දේ මා සමග කියවූ ඇය මට වැඳලා අම්මත් එක්ක යන්න පිටත් වුණා..

ඒ යන කොරිඩෝවේ අන්තිම කෙලවරේදිත් ආපසු හැරුන ඇය අත් දෙකම වනමින් මට ටටා කියලා හිනාවෙලා නොපෙනී යන්න ගියා..

පසුවදන…

මේ පුංචි කතාව සහ එහි කතා නායිකාව වන හුරුබුටි දඟකාර කෙල්ල මට ඉතිරිකරලා ගියේ මහා විශාල පණිවිඩයක්.. ඒ පුංචි හිත් කොයිතරම් නම් අව්‍යාජද?. කොයි තරම්නම් අහිංසකද.. ඒ හිත් තුල තව කෙනෙකු වෙනුවෙන් ඇතිවන හැඟීම කොයිතරම් නම් ප්‍රභලද? ඇයගේ අතකුරින්ම ලියූ වදන් කිහිපය ඊට කෙතරම් සාක්ෂි දරනවාද? එමනිසා වැඩිහිටි අපි අතින් ඒ පුංචි සිත් රිදුනහොත් එය ඔවුන්ට කෙතරම් දරුණු ලෙස බලපානු ඇතිද?.. එනිසා අප සෑමවිටම ඔවුන්ගේ සිත් නොරිදෙන සහ ඔවුන්ට අමිහිරි මතක ඉතිරි නොවන වටපිටාවක් නිර්මාණය කිරීමට අප සියලුදෙනා කල්පනාකාරි වියයුතුය. එය පුංචි මල් වැනි අපේ කුඩා දරුවන් ගේ සිත්තුල අමතක නොවන මතකයන් වනු නොඅනුමානය..”

Scroll to Top