Aboutceylon Online

18 වසරකට පෙර හැදූ ජල ව්‍යාපෘතිය අසාර්ථකයි – පවුල් 355ක් වතුර නැහැ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන මිනිපේ සහ මුත්තෙට්ටුතැන්න යන ග‍්‍රාම නිලධාරී වසම් දෙකේ ගොවි පවුල් 355ක දෙදහසකට ආසන්න ජනතාවකගේ වර්තමානයේ පවතින ජල ගැටලුවට වහා විසඳුමක් ලබා දීමට පියවර ගන්නැයි එම ගම්මානවල පදිංචි ගොවි ජනතාව අදාළ අංශ වෙත අවධානය යොමු කරති.

මිනිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම ග‍්‍රාම නිලධාරී වසම් දෙකේ පදිංචිකරුවන් පවසන්නේ පානීය ජල ගැටලුව හමුවේ වසර ගණනාවක සිටම දැඩි පීඩාවකට පත්ව සිටින බවයි. මහගොවි ජනපදයේ වෙල් යායට ජලය සැපයෙන යෝධ ඇළ ගම්මාන හරහා ගලා ගියද මහ ඇළට ඉහළින් තිබෙන ගම්මානවල ජනතාවට බීමට ජල බිඳක් නොමැතිකමින් අද තමන් අසරණ වී සිටින බවද ඔවුහු සඳහන් කරති. මෙම ගම්මානවල බොහෝ දෙනෙක් පානීය හා වෙනත් ජල අවශ්‍යතා ඉටු කර ගන්නේ ගම හරහා ගලන යෝධ ඇළේ ජලයෙනි. එහෙත් වසරේ යල මහ දෙකන්නයේ වගා කටයුතු නිමා වූ පසු ඇළේ නඩත්තු කටයුතු සඳහා මහ ඇළේ ජල සැපයුම ද නතර කරන විට ගැමියන්ට ජලය සොයා කිලෝමීටරයකට පමණ වැඩි දුරක් ගෙවා මහවැලි ගඟට යාමට සිදුව තිබෙන බවත්, ඇතැම් දිනවල ගඟේ මෙන්ම මහ ඇළේ එන ජලය බොර පැහැයෙන් යුක්ත වන බැවින් ඒවා කිසිසේතම ප‍්‍රයෝජනයට ගත නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති. ඔවුන් තවදුරටත් කියා සිටියේ, තමන් වර්ෂාව පවතින දිනවල භාජනවලට වර්ෂා ජලය එකතු කරගෙන එම ජල අවශ්‍යතා ඉටු කර ගන්නා බවයි.

මෙම ජල ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ සභාපති සරත් රත්නායක මහතා මෙසේ පැවසීය.

මිනිපේ මහ ගොවි ජනපදයේ පළමුවැනි පියවරට අයත් මිනිපේ සහ මුත්තෙට්ටුතැන්න යන ග‍්‍රාම නිලධාරී වසම් දෙකේ ගොවි ජනතාව ජල ප‍්‍රශ්නය හමුවේ මෙසේ පීඩාවට පත්ව සිටීම කනගාටුදායක තත්ත්වයක්. මොවුන්ගේ ජල ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා මෙයට වසර 18කට පමණ ඉහතදී මිනිපේ මුත්තෙට්ටුතැන්න යන නමින් ඒකාබද්ධ ජල ව්‍යාපෘතියක් රජය ආරම්භ කළා. එකල මෙය ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වුණා. නමුත් සංවිධානයක් මඟින් මෙය ක‍්‍රියාත්මක කළත් මෙහි නිසි නඩත්තුවක් නොමැතිකමින් එය අක‍්‍රිය තත්ත්වයට පත් වුණා. විශේෂයෙන් දිළිඳු ගොවි ජනතාවට දරා ගැනීමට නොහැකි මට්ටමේ විදුලි බිලක් ලැබෙන්න පටන් ගත්තා. විදුලි බිල ගෙවීමට නොහැකි වීම නිසාම විදුලිබල මණ්ඩලය විදුලි සැපයුම විසන්ධි කළා. මේ වන විට හිඟ මුදල රුපියල් පන්ලක්ෂ හැටපන්දහසක් පමණ බව සඳහන් වෙනවා. කිසිසේත්ම මේ මුදල අපේ ගැමියන්ට ගෙවා ගැනීමට හැකියාවක් නැහැ. එම නිසා මෙවර ගමට ලැබෙන සංවර්ධන යෝජනා යටතේ අපේ ග‍්‍රාම නිලධාරී වසම් දෙකේම ජනතාව ඒකාබද්ධව යෝජනා කර සිටින්නේ සෝලා පද්ධතියක් ලබා ගැනීමට මුදල් වෙන්කර දෙන ලෙසත්, සෝලා පද්ධතියෙන් විදුලි බලය ලබාගෙන විදුලි මෝටර් ක‍්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා ලෙසයි. එම යෝජනාව ක‍්‍රියාත්මක කළොත් වසර ගණනාවක් තිබුණු ජල ගැටලුවට විසඳුමක් ලැබෙනවා.

මිනිපේ ප‍්‍රාදේශීය ලේකම් නුවන් සී. හේමකුමාර මහතා පැවසුවේ මිනිපේ සහ මුත්තෙට්ටුතැන්න යන ග‍්‍රාම නිලධාරී වසම් දෙකේ ගොවි ජනතාවගේ සෝලා පද්ධතියක් ලබා ගැනීමේ යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට තමාද අනුමැතිය ලබා දෙන බවයි.

හසලක සමූහ ඊ.එම්.එස්. ඒකනායක

Scroll to Top