රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 33,687ක පුද්ගලයන් 109,635ක් බලපෑමට ලක්ව සිටිති. ආපදා තත්ත්වය හේතුවෙන් අනතුරට පත්ව මොනරාගල, නුවරඑළිය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ තුනක් ද ඊයේ (11) වන විට වාර්තා වී තිබේ.
දැඩි බලපෑමට ලක්ව සිටින පවුල් 1587ක පුද්ගලයන් 4981 දෙනකු ආරක්ෂිත ස්ථාන 31ක රඳවා අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ග්‍රාම නිලධාරිවරු විසින් ආපදා සහන සේවා නිලධාරි සමඟ එක්ව සිදු කරනු ලබති. එක් දිස්ත්‍රික් ලේකම්වරයකු සතුව මිලියනයක් බැගින් සහන සේවා කටයුතු සඳහා රජය වෙන් කර දී තිබෙන අතර එම මුදල් වැය කර ආපදාවට ලක් වූ අය වෙනුවෙන් ආහාර, ඇඳුම් පැලඳුම් ලබා දෙනු ඇත.
අමතර මුදල් අවශ්‍යතාව අනුව ලබාදේ. මීට අමතරව මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කර ගැනීම සඳහා රුපියල් 15,000ක මුදලක් ද ලබා දෙන අතර ආපදා තත්ත්වයන් බැහැර වී ගිය පසුව නිවාස, දේපොළ ඇතුළු හානි පූර්ණයන් සඳහා චක්‍රලේඛයට අනුව ගෙවීම් කටයුතු සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ජනක හඳුන්පතිරාජ මහතා ඊයේ (11) පැවසීය. වැඩිම හානි නැඟෙනහිර අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඌව, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුර, වයඹ පළාත්වලින් ආපදා තත්ත්ව වාර්තා වී ඇතැයි ද හෙතෙම කීවේය.