ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ඊසාන මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග මුහුදේ වාරකන් සමය එළඹීම හේතුවෙන්.
දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.
මුහුදේ මෙම රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක් පවතින අතර ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක් ගන්නා දිනවල දූපතට නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත් එම දින මෙතෙක් තීරණය කළ නොහැකි බවත් පරෙවි දුපත් උද්‍යාන නිලධාරීන් පැවසුවා.
පරෙවි දූපත ජාතික උද්‍යානය
මෙය සොඳුරු නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර එකහමාරක පමණ දුරකින් මුහුද වට කර ගත් පුංචි ගොඩබිමකි. මෙම සංචාරක සටහනෙහි අරමුණ දූපතක ජීවන අත්දැකීම් ඇති කෙනකුට තවත් දූපතක අත්දැකීමක් ලබන්නට මඟ පෙන්වීමටය. මඩකළපුව අවට වාසී බොහෝ ජනයා පෙරිය පුරා මලේ (ලොකු පරවි කන්ද) ලෙසින් හඳුන්වන මුත් මේ දුපත කවුරුත් දන්නේ පරෙවි දූපත කියූ විටය. පෙරිය පුරා මලේ ලෙස හැඳින්වුවත් පරෙවි දූපත ලෙස හැඳින්වුවත් මේ අප ඔබට කියන්නේ ලාංකික අපට හිමි එකම සමුද්‍ර ජාතික උද්‍යානය ගැනයි. දුර්ලභ සමුද්‍රික පරිසර දසුන් රැසක් හා ත්‍රාසය රැගත් මුහුදු ගමනක මිනිත්තු කිහිපයක සුන්දරත්වය ලබා ගෙන එන්නට ඇවැසි නම් සංචාරයට ප්‍රිය ඔබ පරෙවි දූපත කරා නොපමාව යාත්‍රා කරන්න.
පරෙවි දූපතෙහි අනන්‍යතාවය වන්නේ නිල් ගල් පරෙවියායි. දූපත පුරාම දක්නට ලැබෙන උස් ගල් කුළු නිල් ගල් පරෙවියා කූඩු තනන්නට තෝතැන්නක් කර ගනී. බැලූ බැල්මට මෙය පරෙවි රජ දහනකි. මෙම දූපතට පරෙවි දූපත යැයි කියන්නට හේතු වී ඇත්තේ ද මෙහි බහුලව ජනනය වන නිල් ගල් පරෙවියා ලෙස හැඳින්වෙන පරෙවි විශේෂයයි. එසේ වුවද අතීතයේ සංදේශ යැවීමට පුහුණු කරනු ලැබූ පරෙවියන් මෙම දූපතෙහි ගාල් කර තැබූ නිසා මෙම දූපතට පරෙවි දූපත යන නම යෙදූ බවට ජනප්‍රවාදයක් ද ඇත.
සැප්තැම්බර් සිට පෙබරවාරි දක්වා මුහුද රළු වෙන නිසා එම මාසවල මෙම දුපත සංචාරය කරන්නන්ගේ පැමිණීම සීමා වී ඇත.
පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් වන්නේ ජුලි සිට සැප්තැම්බර් දක්වායි. පැහැදිලි මුහුදු දියේ කිමිදී කොරල් බලන්නත් වර්ණවත් මත්ස්‍යයන් අතරින් පීහිනමින් හිතේ හැටියට මහ මුහුදේ නාන්නට අවකාශ ඇත්තේ මුහුද නිශ්චලව පවතින මෙම කාලයේදීයි.
නිලාවේලි වෙරළේ සිට පරෙවි දූපතට ඔබ රැගෙන යෑමට බෝට්ටු සේවයක් ක්‍රියාත්මකව පවතින අතර මෙම ගමන සඳහා ඔබ මුදල් ගෙවිය යුතු වෙනවා. දුපතට ඇතුළු වීමට වනජීවි දෙපාර්තමේන්තුවේ කවුන්ටරයෙන් අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් පසුව ඕනෑම කෙනකුට විහඟකු සේ පරවි දූපතේ සැරිසරන්නට අවකාශ හිමි වේ.
1963දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පරෙවි දූපත ජනතාවට පැමිණිය හැකි සමුද්‍රික උද්භිද උද්‍යානයක් ලෙස අති විශේෂ ගැසට් පත්‍රයකින් නම් කරන ලද්දේ 2003 වසරෙදීයි. එදා පටන් දූපත පිහිටා තිබෙන අක්කර පහක පමණ භුමියෙහි ඇති සොබා සම්පත් දූපත අවට ඇති ගල් පර කොරල් මත්ස්‍ය වර්ග ආදී වු මුහුදු සම්පත් ඇතුළත් හෙක්ටයාර 417429ක් වූ පරිසර පද්ධතියෙහිම අයිතිය ඇත්තේ මෙම සමුද්‍ර ජාතික උද්‍යානයටයි.
ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමක් උසුලන පෙරවි දූපත් ජාතික සමුද්‍ර උද්‍යානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති එකම සමුද්‍රික ආර්ථික කලාපයයි. කොරල් වර්ග සියයක් පමණ හා මත්ස්‍ය වර්ග 178ක් පමණ මෙම පරිසරයෙන් දැනට හඳුනාගෙන තිබෙන අතර, බ්ලැක් ටිප්ස් මෝරා හා පොතු කැස්බෑවා වැනි දුර්ලභ මත්ස්‍ය විශේෂය ද ඒ අතර වීම විශේෂත්වයකි.
කොරල් බලන්න වගේම මාළු බලන්නත් මෙය කදිම තැන්නකි.
විසිතුරු කොරල් විශේෂ හා මත්ස්‍ය වර්ග වඩා හොඳින් දැක ගත හැක්කේ දූපතෙහි නැඟෙනහිර පැත්තේ නොගැඹුරු පැහැදිලි මුහුදු ජලය තුළිනුයි.
පරෙවි දුපතෙහි ඇති පටු වෙරළෙන් ඔබ්බ්ට පිය නඟන විට දුපතේ ඇති ජෛව විවිධත්වය ප්‍රකට කරන දසුන් බොහොමයක් දැක බලා ගැනීමේ අවකාශය සංචාරකයන්ට හිමිවෙනවා. පරෙවි දූපතෙහි අනන්‍යතාවය වන නිල් ගල් පරෙවියා ඇතුළු සාමාන්‍ය පරිසරයෙන් දැක ගැනීමට දුර්ලභ වූ ගොළු කිරලා, බ්‍රහ්මණ උකුස්සා, කළු කොකා, මලිත්තා ආදි පක්ෂි විශේෂත් කොහොඹ සහ සියඹලා වැනි අපට හුරු පුරුදු ගස් වර්ග සේම ටෙම්පීස් ඇසිඞ්යුලා, ලන්ටානා සහ පතොක් වැනි ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග ද පෙරවි දූපත වර්ණවත් කරන දසුන්ය. පරෙවි දුපතෙහි ඇති බෙලි කටු ගැන මෙම සටහනෙහි ලියා තබන්නට නොහැකි වුවහොත් එය අඩුවකි. දූපතේ ඇති සොබාවික පාරවල් අතර වැලි යට සැඟවී තිබෙන බෙලිකටු දූපත ඔබ්බට ගමන් කරන ඔබගේ දෙපා තුවාල විමට ඉඩ ඇත එබැවින් දුපතෙහි ඇවිදින්න යන විට පාවහන් පැලඳ යෑමට මතක තබාගන්න.
පරෙවි දුපතට පෙනෙන මානයේ තවත් කුඩා දූපතකි. මෙ සින්නපුරාමලේ එහෙමත් නැතිනම් කාක දූපතයි. පරෙවි දූපතට තරම් මෙම දුපත වෙත එතරම් සංචාරකයන් ආකර්ශනය නොවන්නට ආසන්නම හේතුව වන්නේ කාක දූපත අවට මුහුද තරමක් ගැඹුරු වීම හා මෙම දූපතට වෙරළ තීරයක් හිමි නොවිමයි. මේ වටිනා සංවේදී සමුද්‍රික පරිසරය විනාශ වී යෑමේ දැඩි තර්ජනයට මුහුණ පා ඇති බැවින් මෙම දුපත නැරඹීමට යන සියලු දෙනාගේ යුතුකම හා වගකීම වනුයේ මෙම සොබා සම්පත රැක බලා ගැනීමයි.
පරෙවි දුපතට යන ඔබ සුන්දර අත්දැකීම් හා ඔබ රැගෙන යන දේ පමණක් යළි රැගෙන එන්නට වග බලා ගන්න. පරිසරය වෙනුවෙන් ඔබෙන් විය යුතු යුතුකම එයයි.
සටහන – සුරංජි පතිරණ