දේශපාලනඥයන්ගේ ලිපිවලට රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව රැකියා අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
මධ්‍යම පළාතේ ජනතාවට පවතින, ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබා දීමේ වැඩසටහන යටතේ, නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වූ කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ටී. ෆිල්ඩ් වයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ළමුන් හා තරුණ තරුණියන් අතර සංහිඳියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ වැඩසටහන පෙරේදා (16) නානුඔය ඩේස්ෆොඩ් වත්ත වතුයායේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.
වතු ආශ්රිත ළමුන්, තරුණ තරුණියන් පොදුවේ මුහණ දෙන ගැටලු ඔවුන් විසින් අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් වෙත ඉදිරිපත් කළ අතර, ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ හා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.
වතු ආශ්රිත තරුණ තරුණියන්ට පවතින රැකියා ගැටලු, වතු ආශ්රිත මාර්ග පද්ධතිය අබලන්ව පැවතීම, අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ ගැටලු, වතු නිවාස ආශ්රිත ප්‍රශ්න, වතු නිවාස ආශ්‍රිතව පවතින සනීපාරක්ෂක ගැටලු, භාෂාමය වශයෙන් පවතින ප්‍රශ්න හා පාසල් යාම අතරමඟ නතර කරන ළමුන් මුහුණපාන ගැටලු ආදිය පිළිබඳව එම තරුණ තරුණියන් මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදි.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ ඇමැතිවරයා මෙසේද පැවැසීය.
“රජයක් ලෙස රටේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ගැටලු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙලා. ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල් සංස්ථාව විනාශ වෙලා. ඇතැම් නගරවල තරුණ තරුණියන් දුරාචාරයන්ට යොමු වෙලා. ආර්ථික ප්‍රශ්න, විරැකියාව හේතුවෙන් ගැටලු ඇතිව තිබෙනවා. එවැනි සමාජ වටපිටාවක් සහිත පරිසරයක මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන් සමස්ත සමාජයම යහපත් මාර්ගයට ගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුතුයි. අපේ රටේ දරුවන්ට දක්ෂතා පවතිනවා. ඒ දක්ෂතා ඉස්මතු කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත වෙලා නැහැ. සියලුම තරුණ ළමුන්ට තමන්ගේ භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව නොමැතිව සමාජයේ ඉදිරියට යෑමේ හැකියාවක් නැහැ. තමන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බවට අවබෝධයක් බොහොමයක් මාපියන්ට නැහැ.
වත්මන් රජය, පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා යෝජනා කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට ළමුන්ගේ සහජ දක්ෂතා ඔප්නැංවෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේ රටේ දරුවන්ගෙන් විශ්වවිද්‍යාල වරම් හිමි වන්නේ සීමිත සංඛ්‍යාවකට පමණයි. විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. අපි ඒ දරුවන්ගේ අනාගතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව ඔවුන්ටත් උසස් අධ්‍යාපන වරම් ලබා ගත හැකි වටපිටාවක් සකස් කළ යුතුයි. දක්ෂතාවයට අවස්ථාව හිමි වන පරිදි වැඩපිළිවෙළක් නව අධ්‍යාපන ක්‍රමය තුළින් ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. දේශපාලනඥයන්ගේ ලියුම්වලින් රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරනවා. ගමෙහි සංහිඳියාව වැඩිදියුණු කර ගමේ සංවර්ධනය ඇතිකිරීම අරමුණු කරමින් සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ජාතික සංහිඳියා කමිටු පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. එම කමිටු සඳහා පාර්ලිමේන්තු පනතක් තුළින් නීතිමය බලය ලබා දෙනවා. ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ ඍජුව සම්බන්ධ වීමේ නීතිමය බලය සංහිඳියා කමිටු සඳහා ලබා දෙනවා.
අපේ රටේ ළමයින්ට සිදු වන අසාධාරණ නිසා ලෝකයා ඉදිරියේ අපේ රට අපකීර්තීයට පත්ව තිබෙනවා. මහජනතාවට නීතිමය ලේඛන සම්බන්ධව පවතින අවශ්‍යතා සම්පූර්ණ කරදීම සඳහා උතුරු – නැඟෙනහිර පළාත් මූලික කරගනිමින් විශේෂ වූ ජංගම සේවා වැඩසටහනක් ආරම්භ කළා. එය මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළා. එම ජංගම සේවා වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරමින්, සියලු ජනතාවට පවතින නීතිමය ලේඛන සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නවා” යැයිද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. පී. එස්. සමන් කුමාරි, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වූ කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, ඩේස්ෆොඩ් වත්ත වතු අධිකාරී වෙනුර පැල්පොල, ටී ෆීල්ඩ් ආයතනයේ විධායක අධ්යක්ෂ නිශාන්ත හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහුද, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ නිලධාරීහුද, වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.