Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කටුමැටි ගෙයක ජීවත් වූ අසරණ පවුලකට නව නිවෙසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැකිච්චාව, කුකුළෑව ගම්මානයේ ජීවත්වන අන්ත දුගී පවුලකට අංග සම්පූර්ණ නව නිවෙසක් ඉදිකර දීම පසුගියදා සිදු කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙකුගේ මැදිහත්වීම මත මෙම නව නිවෙස ඉදිකරදී තිබේ.

මැකිච්චාව වසමේ සංවර්ධන නිලධාරිනී ආර්.ඩී. ශානිකා දමයන්ති මහත්මියගේ මගපෙන්වීම මත රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් වැය කරමින් කුකුළෑව ගම්මානයේ පදිංචි ඩබ්. හේමා කුමාරි මහත්මියගේ පවුලට මෙම නව නිවෙස ඉදිකරදී තිබේ. මීට වසර 8කට පමණ පෙර සිය ස්වාමිපුරුෂයා තමන් සහ දරුවන් තිදෙනා හැර යාමෙන් පසුව දරුවන් සමඟ ඉතා අසීරු ජීවිතය ගත කිරීමට සිදු වූ ඇයට මෑතක් වන තුරුම කිසිදු දීමනාවක් හිමිවී නොමැත. නමුත් රජයෙන් මේ වන විට ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩපිළිවෙළ යටතේ ඇයට රජයේ දීමනාවක් හිමි වේ.

ඉතාම කුඩා කටුමැටි ගෙයක ඉතා අනාරක්ෂිත අන්දමින් සිය දරුවන් සමඟ ඇය ජීවත්ව සිටියේය. වැඩිමහල් දියණිය මේ වන විට 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අනෙක් දරුවන් දෙදෙනාම ආබාධ සහිත වූවන්ය.

මෙම නිවෙස ඉදිකිරීමේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය පුහුණු අංශයේ මෙන්ම කහටගස්දිගිලිය ග්‍රාම ශක්ති සංවර්ධන සමිතියේ ද සහය ලැබී තිබේ. මේ සියලු දායකත්වයන් සමඟ පසුගිය ජූලි මාසයේ ඉදිකිරීම් ආරම්භ කර මාස හයක කාලයක දී අංග සම්පූර්ණ නිවෙසක් ලෙස මෙය ඉදිකර භාර කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව මෙහි දී විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා කියා සිටියේ ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ආදර්ශවත් ලෙස සිය සේවය ජනතාව වෙනුවෙන් ලබා දීමට අවශ්‍ය දිරිය සපයන්නෙකු වශයෙන් දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරයාගේ වැඩපිළිවෙළ අගය කරන බවයි.

මෙම කුකුළෑව ගම්මානයේ පවුල් 374න් අඩු ආදායම් ලාභී පවුල් 250ක් පමණි. මෙහි පවුල් 38කට නිසි නිවෙසක් නොමැති අතර එම ගමෙහි ස්ථිර වැසිකිළියක් නොමැති පවුල් ගණන විසි අටක් (28) බව ද මෙහිදී හෙළිවී ඇත. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල්, සහකාර සැලසුම් අධ්‍යක්ෂ ප්‍රියංකර නවරත්න, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙන්ම කුකුළෑව ගම්වාසීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

අනුරාධපුර – අමිල ප්‍රභාත්

Scroll to Top