අසාධාරණ ලෙස විදුලිය විසන්ධි කිරීමට භාජන වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා එම විසන්ධි කිරීම්වලට අදාළ දත්ත අධ්‍යයනයක් කරන්නේ යැයි ‘අඳුරෙන් එළියට එළියට සවියක්’ මැයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.
ඒ අනුව, මෙසේ කළ විසන්ධි කිරීම් අවසානාත්මක වශයෙන් සාධාරණ ලෙස කළ දැනුම් දීම්වලින් පසුව සිදු කළේ ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් මෙමඟින් සිදුවනු ඇතැයි මහාචාර්ය ධම්මරතන හිමියෝ කීහ.
මෙසේ විදුලිය විසන්ධි කිරීම්වලට ලක්වූවන් සාමාන්‍ය ජනතාව, පුණ්‍ය ආයතන ආදී වශයෙන් වර්ගීකරණය කෙරෙන්නේ යැයි ද උන්වහන්සේ පැවසූහ. ඉතා කෙටි කාලයකදී රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ විදුලිය සබඳතා විසන්ධි කර ඇතැයි චෝදනා කළ මහාචාර්ය ධම්මරතන හිමියෝ සමාජය දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින මොහොතක මේ පියවර කෙතරම් යුක්තිසහගත දැයි විමසා සිටියහ.
මෙම අධ්‍යයනයේදී හඳුනා ගන්නා වින්ධිතයන්ට යුක්තිය ඉටුකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී සාකච්ඡා කෙරෙන්නේ යැයිද ධම්මරතන හිමියෝ සඳහන් කළහ.
‘අඳුරෙන් එළියට එළියට සවියක්’ යනු, හුදෙක් විදුලිය විසන්ධිවූවන්ට විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් නොවන්නේ යැයි ද අයුතු ලෙස විදුලිය විසන්ධි කිරීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටුකිරීමක් යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
විදුලි පාරිභෝගිකයන් ගෙවීම් පැහැර හරින විට රතු බිල් පැමිණීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරු සංගමය පවසයි. මහ භාණ්ඩාගාරය විදුලිබල මණ්ඩලයේ වියදම් දරන්නේ නැති බැවින් ආදායම් එකතු කර ගැනීමට විදුලි බිල වැඩි කර ඇතැයි ද බිල නොගෙවන අයගේ විදුලිය විසන්ධි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.
විදුලි බිල් අඩු වූවත් වැඩි වූවත් නොගෙවන කොටසක් සිටින බවත් බිල් වැඩි වන අවස්ථාවේදී යම් කිසි අපහසුතාවක් ඇති වන බවත් එම සංගමය පවසයි.
සමස්ත පාරිභෝගික සංඛ්‍යාවෙන් සියයට එකක පමණ සම්පූර්ණයෙන් ම විදුලිය අත්හිටුවීමට සිදුවී ඇති බවත් සියයට දහයකට පමණ රතු බිල් යවන බවත් පවසන ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරු සංගමය, විදුලි අත්හිටුවීමෙන් පසුව නැවත සම්බන්ධ කිරීම වෙනුවෙන් මුදලක් ගෙවිය යුතු යැයි පවසයි.
මේ අතර, සමස්ත පාරිභෝගිකයන් අතරින් ලක්ෂ 7කට පමණ රතු නිවේදන නිකුත් කර ඇති අතර සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 65ක් පමණ විදුලි බිල් නොගෙවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත. නියමිත ලෙස විදුලි බිල් නොගෙවූ පාරිභෝගිකයන්ට හිඟ බිල්පත් ගෙවීමට දින 45ක සහන කාලයක් ලබා දී ඇති බව ද එම මණ්ඩලය පවසයි.
mawbima.lk