දහස් ගණන් මුදල් වියදම් කර දුක් මහන්සියෙන් ඉතා උසස් මට්ටමේ ඵලදාව ලැබූ කහ වගාව සඳහා නිසි මිලක්, නිසි වෙෙළඳ පොළක් නැති බැවින් හොඳින් වගා කළ ඉහළ ඵලදාවක් ඇති කහ අක්කර ගණනක් ඵලදාව උදුරන්නේ නැතිව වල් වැදී යන්නට ඉඩ හැරී ඇත. මෙසේ කහ අක්කර ගණන් වල් වැදීමට ඉඩ හැර ඇත්තේ කහ වගාව උදුරා වෙෙළඳ පොළට යොමු කරන තෙක් කටයුතු කිරීමෙන් තමන්ට තවත් අලාභ කරගන්නවාට වඩා වල් වැදී විනාශ වී යාමට ඉඩ හැරීම සුදුසු යයි සිතන නිසා බව ගාල්ල අක්මීමන හියාරේ නැඟෙනහිර හා කදුරුගස්හේන කහ ගොවියෝ පවසති.
ඔවුන් පවසන අයුරින් කහ වගාව සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරත් මේ වන විට කහ ඵලදාව සඳහා අත්ව ඇති ඉරණම වගකිවයුත්තන් මේ පිළබඳ දක්වන අවධානය පිළිබඳ දැඩි කනස්සල්ලකින් කනගාටුවකින් කාලය ගත කරමින් දහවලේ අව්වේ වැස්සේ වේළෙමින් තෙමෙමින් මහන්සි වී වැඩ කර රාත්‍රියට නිදිවරමින් වගාවට හානි කරන විවිධ වූ සතුන්ගෙන් වගාව බේරා ගනිමින් රැකබලා ගත්තත් අද කහ ගොවීන්ට සිදුව ඇත්තේ මෙවන් ඉරණමකි. ආශාවෙන් උනන්දුවෙන් වගා කර ඉතා හොඳ අස්වැන්නක් ලැබී තිබියදී ඒ සඳහා වෙෙළඳ පොළක්, ගැළපෙන මිලක් නොමැතිකම නිසාම මෙසේ වගාව කැලෑ වදින්නට ඉඩ හරින්නේ මොනතරම් වූ වේදනාවකින්ද. එහෙත් සත්‍ය නම් එසේ කරන්නට සිදු වී ඇත්තේ කහ වගාවෙන් හොඳ ආදායමක් ලබා තම ජීවිත යහපත් කරගන්නට තැබූ බලාපොරොත්තු සුන් වී යාමෙනි.
පී.එච්. සෙනෙවිරත්න ගොවි මහතා,
මම අක්කර භාගයක කහ වගාව යෙදුවා. බොහෝ වියදම් කරලා පොළොව හදලා කෘෂිකර්ම උපදෙස් මත වගාව සිදු කළා. කහ ඵලදාව ලබන කාලය වන විට වගාවේ වල් තුන් වරක් පමණ උදුරා දමන්නට ඕන. පොහොර යොදන්නට ඕන. කහ පඳුර මුලට පස් ළං කරන්න ඕන. මේ සියල්ලටම කුලී මිනිසුන් යොදවලා කරන විට අද වන විට දවසේ කුලිය රුපියල් 2500යි. රාත්‍රියට සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගන්න ඕන. මේ සියල්ලම කරලා වගාවේ ඵලදාව උදුරන කාලය වන විට ඵලදාවට නිසි මිලක් නෑ. රුපියල් 100ට කහ කිලෝ එකක් විකුණලා වියදම් පියවගන්නෙ කොහොමද. පවතින මිලත් එක්ක වගාව උදුරලා හෝදලා පිරිසිදු කරලා වේළලා වෙෙළඳ පොළට යවන්න තවත් වියදමක් දරන්න ඕන. රුපියල් 100ට කහ විකුණලා ගියපු වියදම් පියවන්න බෑ. ඒ නිසා තවත් කුලී දීලා ඒ වැඩ ටික කළාම තවත් වියදමක්. ඒ නිසා තව තවත් වියදම් කරන්නෙ නැතිව වගාව උදුරන්නෙත් නැතිව වල් වදින්න ඉඩ හැරියා. එහෙම කරන්නේ අපේ ආර්ථිකය පහතටම වැටී ඇති නිසා යැයි ද කීය.
නිරෝෂ ශිරංග ගොවි මහතා,
කහ වගාව සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා අක්කර දෙකක් පමණ පොළොව සකස් කර කෘෂිකර්ම උපදෙස් අනුව කහ බීජ අල සිටෙව්වා. සිටුවූ කහ බීජ පිදුරු යොදා වැසීමට කටයුතු කළා. එසේ කරපු කහ වගාව හොඳින් වැඩිලා හොඳ ඵලදාවකුත් ලැබුණා. පසුගිය වසරේ නම් කහ සඳහා හොඳ මිලක් අපට ලැබුණා. වෙෙළඳ පොළ හොඳින් තිබුණා. ඒ නිසා කහ වගාව ආසාවෙන් කළා. කහ කිලෝ 8000ක් මම පසුගිය වසරේ වෙෙළඳ පොළට ලබා දුන්නා. එහෙත් මෙවර අමු කහ කිලෝ එකක් යන්නෙ රුපියල් 80ත් – 100ත් අතර මුදලකට. ඒ මුදලට දීල වියදම් කරපු මුදල්වත් උපයා ගන්න බෑ. ගොවීන් විදිහට අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. අද කහවලට මිලක් නෑ. වෙෙළඳ පොළක් නෑ. වගාව සඳහා යන මුදල හොයාගන්න බැරිවෙලා. ඒ නිසා මෙවර කහ වගාව ගැලෙව්වෙත් නෑ. කහ ඵලදාව ගලවලා, හෝදලා වෙෙළඳ පොළට යවන්න තවත් වියදමක් දරන්න වෙනවා. එක් කම්කරුවකුට කහ කිලෝ 25 -30 තමයි දවසකට පිරිසිදු කරන්න පුළුවන්. මේ වියදම් එක්ක බලනකොට ඊට හොඳයි වගාව කැලේට යන්න හරින එක. ඒ නිසා මෙවර වගාව ගලවන්නෙ නැතුව එම ඉඩමේ වම්බටු වගාව යෙදුවා. නමුත් අපි දන්නව කහ ගලවන්න ඕන කාලයට ගැලෙව්වෙ නැත්නම් අල විනාශ වෙලා යනවා. ඒත් කරන්න දෙයක් නෑ. කහ සඳහා හොඳ මිලක් ලබා දෙන්නෙ නැත්නම් ඒ වගාව අත්හරින එක හොඳයි කියල අපිටම හිතුණ යයි ඔහු පැවසීය. මේ වන විට කහවලට වෙෙළඳ පොළක් ඇත්තෙම නෑ. පසුගිය වසරවල රජය මැදිහත් වෙලා ගොවීන්ගෙන් කහ මිල දී ගත්තේ රුපියල් 250ට. මෙවර එහෙම නෑ. රජය මේ ගැන අවධානය යොමු කරන්නෙම නෑ. හරිම කනගාටුවක්.
ප්‍රදේශයේ කහ ඵලදාව මිලට ගනු ලබන ව්‍යාපාරිකයකු වන උදය සුසන්ත මහතා පැවසුවේ,
අද පවතින තත්ත්වය අනුව කහ කිලෝ එකක් රුපියල් 100ට වැඩි මුදලක් දීල මිලට ගන්න බෑ. අද වන විට කහ කිසිවෙක් මිල දී ගන්නෙත් නෑ. මොකද දැන් මාස 6ක් තිස්සේ වහිනවා. කහ අරගෙන වේළගන්න බෑ. ඒ නිසා කහ මිලට ගන්න ව්‍යාපාරිකයෝ මැළිකමක් දක්වනවා. ඒ වගේම කහ ගලවලා සතියක් දෙකක් යනකොට පැළ වෙනවා. අද වන විට හියාරේ නැඟෙනහිර, කදුරුගස්හේන යන ගම් දෙකේ කහ කිලෝ 20000ක් පමණ ගලවන්න තිබෙනවා. ඒ ගොවියෝ කහ ගලවන්නෙ නෑ ගලවල විකුණන්න කෙනෙක් නැති නිසා. ඒවා කැලෑවට යන්න දීල තියෙන්නෙ. ඇත්තටම මේක ලොකු අපරාධයක් වෙනවා. කහ කිලෝ එකක් අඩුම තරමින් රුපියල් 200 – 250 තරම් මිලකට ගියොත් ගොවීන්ට සහනයක් ලැබෙනවා. එහෙම නැති නිසා ගොවීන් මීට පසුව කහ වගා නොකරන මතයේ ඉන්නේ.
අක්මීමන විශේෂ – සුනිල් ගමගේ