දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 90 ඉක්මවා තිබේ.
සමනලවැව ජලාශය වසර 10කට පසු වාන් දමමින් පවතියි.
ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබේ.
ඊයේ රාත්‍රියේ සිට කාසල්රි ජලාශයේ වාන් දොරටු 13ක් අගල් දෙකහමාර බැගින් විවෘත කර ඇති අතර ඒ සමගම ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ කෙරුණා.
කාසල්රි ජලාශය මෙලෙස වාන් දමන්නේ, වසර 3කට පමණ පසුවයි. මෙම ජලාශ වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.
එසේම මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමට අඩි 3ක් දක්වා ආසන්න වී තිබෙනවා. එසේම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනයද මේ වන විට උපරිම මට්ටමෙන් සිදු කෙරෙන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.
මේ අතර, වලවේ ගග පිටාර ගැලීමෙන් බෝලාන දකුණ, මැලේකොළණිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට, ජලයෙන් යටවී අතර පවතින ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් කිහිපයකට ද නිවාඩු ලබාදී තිබේ.
එසේම වලවේ ගග රක්ෂිත ප්‍රදේශයේ නිවාස බොහෝමයක් ජලයෙන් යටවුණා. අම්බලන්තොට රජයේ රෝහලටද ගංවතුර පැමිණීමේ අවදානමක් පවතින හෙයින් නේවාසික රෝගීන් හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.
අතර වැල්ලවාය – අලිකොටයාර ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර ඇති අතර මේ හේතුවෙන් කිරිදි ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළා.
මේ අතර, අත්තනගලු ඔයේ විශාල ගංවතුර අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කැළණි, කළු,නිල්වලා, යන ගංගා වල සහ මහඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.
එසේම,අත්නගලුඔයේ අතු ගංගාවක් වන වේයන්ගොඩ දී ඇල්ල ඔය පිටාර ගැලීමෙන් වේයන්ගොඩ, ගොඩවෙල ඇතුළු ගම්මාන ජලයෙන් යටවී තිබේ.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නිකුත් කළ නායයාමේ අනතරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.