ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ අරමුණින් තායිලන්තයේ Save Elephant Foundation මගින් අනුරාධපුර ඇලයාපත්තුව කුඩාහල්මිල්ලෑව ගම්මානයේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එහි නිළධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයකට අනුව RARE Sri Lanka සංවිධානයේ නිර්මාතෘ/ අධ්යක්ෂ පංචාලී පනාපිටිය මහත්මියගේ සම්බන්ධීකරණයෙන්, තායිලන්තයේ Save Elephant Foundation හි නිර්මාතෘ Seangdeaun Lek Chailert මහත්මිය, තායිලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Nitipon Piwmow මහතා ඇතුළු, තායිලන්තරයේ Save Elephant Foundation හා RARE Sri Lanka හි සාමාජිකයින් පිරිසක් මෙලෙස නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මීට මාස කීපයකට ඉහතදී, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයකට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අලි තර්ජනයන්ට නිරන්තරයෙන් මුහුණ දෙන ගම්මාන කීපයක් වෙත ගොස් එම ගම්මාන වල ජනතාවට වන අලින්ගෙන් සිදුවන හානී හා එම හානී අවම කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් පරිසර සංවිධාන, සත්ත්ව හිමිකම් සංවිධාන නියෝජනය කරන පරිසරවේදීන් හා සත්වවේදීන් කීහිපදෙනෙකු නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.ඊට සහභාගී වූ RARE Sri Lanka සංවිධානයේ නිර්මාතෘ/ අධ්යක්ෂ පංචාලී පනාපිටිය මහත්මිය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව කුඩාහල්මිල්ලෑවගම්මානයේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තායිලන්තයේ Save Elephant Foundation වෙත ආරාධනාවක්සිදු කර ඇත.ඒ අනුව අලි-මිනිස් ගැටුම අවම කරමින් අලින්ගේ හා මිනිසුන්ගේ මෙන්ම ජීවිත ආරක්ෂා කර ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම පිරිස පසුගිය සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙම වැඩසටහන පිළිබඳව මෙන්ම අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කර එම ගම්මානය වෙත පැමිණියේය. එම අවස්ථාවට දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් වෙනුවෙන් ඒ මහතාගේ පෞද්ගලික ලේකම් කවින්ද දිසානායක මහතාද සහභාගී විය.
ගම්වාසීන් විසින් එම පිරිස පිළිගැනීමෙන් අනතුරුව, ගම්වාසීන් තමන් වනඅලින්ගෙන් විදින පීඩාවන් පෙන්වා දෙනු ලැබීය. වන අලින් නිරන්තරයෙන් ගම්වැදී තම නිවාස හා දේපළ මෙන්ම ජීවිතද හානී කරන බවත්, අලි-මිනිස් ගැටුමෙන් මිනිසුන්ගේ මෙන්ම වන අලින්ගේද ජීවිත පසුගිය වසර කීපය පුරා අහිමි වී ඇති බවත් පෙන්වා දුන්හ. තම ගම්මානයේ පවුල් 400 ක් පමණ දිවි ගෙවන බවත්, ඔවුන්ගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය ගොවිතැන වන නමුත් වන අලින්ගෙන් ගොවිතැන බේරා ගත නොහැකි වීම නිසා ගොවීන් ගොවිතැනින්ද ඈත් වී ඇති බවත් පෙන්වා දුන්හ.
ජනතාවගේ අදහස් දැක්වීම් අසා සිටි Save Elephant Foundation හි නිර්මාතෘ Seangdeaun lek chailert මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා එම ගම්මානය වටා විදුලි අලි වැටක් ලබා දෙන බවයි, ගම්මානයේම තරුණ පිරිස යොදා ගෙන එම අලි වැට නඩත්තු කිරීම සිදු කරන බවත්, අලි -මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් ගම්වාසීන්ගේ දායකත්වයෙන් සාම සාධක හමුදාවක්ද නිර්මණය කරන බවයි.
තවද ගම්මානයේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් කාන්තාවන් 50 දෙනෙකු වෙත ස්වයං රැකියා උත්පාදනය කිරීම සඳහා තායිලන්තයේ භාවිතා වන අත්පළඳනා ඇතුළු ආභරණ නිෂ්පාදනය කිරීමේ ස්වයං රැකියා පුහුණුවක්ද ලබා දීම හා එම ගම්මානයේ කුඩා දරුවන් වෙත ඇඳුම් ප්රදානය කිරීමද එහිදී සිදු කෙරිණි.
අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මෙම අවස්ථාව ලබා දුන් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ට ස්තූතිවන්ත වන බවද Save Elephant Foundation හි නිර්මාතෘ Seangdeaun lek chailert මහත්මිය එහිදී පැවසුවාය.
එම පිරිස වන අලින් විසින් හානී කළ නිවාස හා වගා බිම්ද නිරීක්ෂණය කළ අතර, පසුගිය දින වල වන අලි හානී කළ නිවාස 11 ක් ප්‍රථිසංස්කරණය කිරීමට අවශ්‍යය ද්‍රව්‍ය හා මූල්‍ය ආධාරයන්ද ඔවුන් එහිදී ලබා දීමට කටයුතු කරනු ලැබීය.
තිසර