Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බොරු පොරොන්දු දෙන නායකයින්ට ආදර්ශයක් | ඔස්ට්‍රේලියානූ නායක පැට් කියූ පරිදිම වැඩ පෙන්වයි ‍| සාස්තරේ බොරු වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඉන්දියාවට සිදු වුණේ අනුශූරතාවයෙන් සෑහිමකට පත් වීමටයි.

අවසන් මහා තරගය පැවැත්වූ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ  සියලු ප්‍රේක්ෂකයන් පැහැදිලිවම ඒකපාර්ශ්වික වනු ඇති නමුත් නිල් පැහැති කමිස හැඳි ලක්ෂයකට වඩා විශාල සෙනඟක් නිෂ්ශබ්ධ ව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු නායකයා පවසා සිටියේය.

ඒ අරමුණ සනාථ කල පැට් කමින්ස් ප්‍රෙක්ෂකයන්ට බොරු පොරොන්දු දෙන නායකයින්ට අගනා පාඩමක් කියා දුනි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බව පැට් කමින්ස් පවසා තිබීම 6වන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනිමින් සනාථ කළේය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 240ක් පමණි

ලකුණු 241ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියේය.

එක් රන් කිරුළක් වෙනුවෙන් ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍ය 10ක් මාස එකහමාරකට ආසන්න කාලයක් තරග 48කදී උරෙන් උර ගැටුණා.

එහිදී ක්‍රිකට් දේවත්වයෙන් සලකන අසල්වැසි භාරත දේශය අපරාජිතව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙද්දී ,මුල් තරග දෙක පරාජය වුවත්, අනතුරුව සහභාගී වූ තරග 08ම ජයගෙන ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ ප්‍රතිමල්ලවයින් බවට පත් විය.

ඔවුන් මින් පෙර 1987, 1999, 2003, 2007 සහ 2015දී ලෝක එක්දින ක්‍රිකට් ශූරයන් බවට පත් වූ අතර, ඊයේ ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී සත්කාරක ඉන්දියාව කඩුලු 6කින් පරාජය පත් කරමින් 6 වැනි කිරුළ දිනා ගත්තේය.

ඉන්දියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අනුශූරයන් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2003 වසරේ තරගාවලියේදීත් ඔස්ට්‍රේලියාව හමුවේම ඉන්දියාව අනුශූරයන් වීම විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ මුල් කඩුලු 3ක ලකුණු 47ක් තුළ බිඳ වැටුණු අතර, එක් අන්තයක් ආරක්ෂා කර ගත් ට්‍රැවිස් හෙඩ් සිව්වැනි කඩුල්ලට මානස් ලැබුෂ්චේන් සමඟ එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ සිය 5 වැනි එක්දින ශතකය රැස් කරමිනි. සිව්වැනි කඩුල්ලට මානස් සමඟින් පන්දු 215කින් ලකුණු 192ක සබඳතාවක් ගොඩනැඟූ හෙඩ් දැවී ගියේ ජයග්‍රහණයට ලකුණු 2ක් ඉතිරිව තිබියදීය. පන්දු 120කට මුහුණ දුන් ඔහු ලකුණු 137ක් රැස් කළ අතර, හතරේ පහර 15කින් සහ හයේ පහර 4කින් ඉනිම වර්ණවත් විය. ඔහුට අනගි සහායක් දුන් මානස් නොදැවී ලකුණු 58ක් රැස් කළේ පන්දු 110කිනි. ඩේවිඩ් වෝනර් ලකුණු 7කට, මිචෙල් මාෂ් ලකුණු 15කට සහ ස්ටීව් ස්මිත් ලකුණු 4කට ඔස්ට්‍රේලියානු ඉනිමේ දැවී ගිය පිතිකරුවන් බවට පත් වූහ.

පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය පිලේ ඉනිම ආරම්භ කළ රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 30කට සීමා කිරීමට මිචෙල් ස්ටාක් සමත් වූයේ පළමු කඩුල්ල ලෙස ගිල් ලකුණු 4කට දවා ගනිමිනි.

දෙවැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කිරීමෙන් අනතුරුව නායක රෝහිත් ශර්මාට දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමට සිදු වූයේ ග්ලෙන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ට්‍රෙවිස් හෙඩ් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ඒ වන විට ඔහු පන්දු 31කින් ලකුණු 47ක් රැස් කර තිබුණේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි.

තවත් ලකුණු 5ක් එක් වෙද්දී ශ්‍රෙයාස් අයියර් ලකුණු 4කට දැවී ගිය අතර, අනතුරුව විරාත් කෝලිට එක් වූ ලෝකේෂ් රාහුල් මුළු ලකුණු සංඛ්‍යාව 148 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 67ක සබඳතාවක් සමඟිනි. සිය 72 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 54ක් වාර්තා කළ කෝලි පන්දු 63කදී හතරේ පහර 4ක් එල්ල කර තිබිණි. අයියර් සහ කෝලි දෙදෙනාම පැට් කමින්ස්ගේ ගොදුරු බවට පත් විය. රවින්ද්‍ර ජඩේජා ලකුණු 9කට දැවී ගියේ ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 178දීය. ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 37ක් තුළ දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

ඉනිමේ සාර්ථකම පිතිකරු වූ ලෝකේෂ් රාහුල් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, පන්දු 107කට මුහුණ දුන් ඔහු හතරේ පහරක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 66කි. සිය දෙවැනි කඩුල්ල ලෙස 42 වැනි ඕවරයේ තෙවැනි පන්දුවෙන් රාහුල් දවාගත් මිචෙල් ස්ටාක් ඊළඟ ඕවරයේදී මොහොමඩ් ශාමි ලකුණු 6කට පිටියෙන් ඉවත් කළේය.

තවත් ලකුණු 3ක් තුළ ජස්ප්‍රීට් බුම්රා (1) දැවී ගිය අතර, සූර්යකුමාර් යාදව්ගේ ඉනිම ලකුණු 18කට සීමා විය. කුල්දීප් යාදව් අවසන් පන්දුවෙන් දුවද්දී දැවී යෑමට හසු වූයේ මුළු ලකුණු 240කට ඉනිම සීමා කරමිනි.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු 3ක් දවාගත් අතර, පැට් කමින්ස් සහ ජොෂ් හෙස්ල්වුඩ් කඩුලු 2ක බැගින් දවා ගත්හ.

132,000කට නැරඹීමේ පහසුකම් ඇති නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ඊයේ 92453 පිරිසක් පැමිණ සිටි අතර, ක්‍රීඩාංගණය නිල් පැහැයෙන් වර්ණවත් වී තිබීම කැපී පෙනිණි.

අවසන් තරගයේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානය විරාත් කෝලිට හිමි විය.

සාස්තරේ බොරු වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජය ගන්නා බවට ඉන්දියාවේ ප්‍රධානතම සුප්‍රසිද්ධ ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥ සුමිත් බජාජ් මහතා ඊයේ තරගයට පෙර පළ කළ අනාවැකිය සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් බවට පත් විය.

ඔහුගේ අනාවැකිය අනුව රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව ජයග්‍රහණය කරන බවත්, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් තරගය අතරතුර ගත් තීරණයක් ගැන කනගාටු විය හැකි බවත් යූ ටියුබ් නාලිකාවක් මඟින් දක්වා තිබිණි. එමෙන්ම වේග පන්දු යවන්නන්ට ඊයේ දිනයේ වාසියක් නැතත් ජඩේජා හා කුල්දීප් පෙරළියක් කරනු ඇති බවත් ඔහුගේ අනාවැකියේ සඳහන් විය.

කෙසේ වුවද ඊයේ දිනයේ පැට් කමින්ස් තරගය අතරතුර ගත් කිසිදු තීරණයක් කනගාටුදායක නොවූ අතර, වේග පන්දු යවන්නන් බිඳ වැටුණු කඩුලු 4ම දවාගත් අතර, ජඩේජාගෙන් හා කුල්දීප්ගෙන් කිසිදු පෙරැළියක් සිදු වූයේ ද නැත.

Scroll to Top