Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රතු නිවේදන සමඟින් විශාල මට්ටමේ ගංවතුරක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

වර්ෂා තත්තත්තවය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තතු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.

එමෙන්ම දැඳුරු ඔය, තබ්බෝව, වෙහෙරළගල, ලුණුගම්වෙහෙර, මව්ආර සහ උඩවලව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩිව සැලකිළිමත්වන ලෙසට එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ප්‍රථමික අංශය සහ කෑගල්ල ශාන්ත මරියා දෙමළ විද්‍යාලය අද (20) වසා තැබීමට තීරණය කර තිබේ.

නායයෑම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 2ක් රථ වාහන ධාවනය සඳහා තාවකාලිකව වසා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්. උදයකුමාර මහතා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබද රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, අරණායක සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම රතු නිවේදනය නිකුත් කළ බවයි.

ඊට අමතරව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, රත්නපුර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා අදියර එක සහ අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකය.

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට (19) දින පස්වරුවේ අධික වර්ෂාව පතිත විමත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව කොටියාගල වතු නිවාස වලට පිවිසෙන මාර්ගය සහ අසල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

තවද බගවන්තලාව සෙස් මේරිස් ජාතික පාසලේ ක්‍රිඩාංගණය සහ පාසල් ගොඩනැගිලි කිහිපයක්ද ජලයෙන් යට වි ඇත.
බගවන්තලාව නගරයේ සිට තෙරේසියා වතුයායට පිවිසෙන මාර්ගයද ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා වතු කම්කරුවන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය බගවන්තලාවේ සිට ටින්සින් නගරය දක්වා මඩ සහ වැල් පැළැටි වැවි ගොඩ වි ඇති නිසා එම ඔයේ ජලය රිසි ලෙස පහලට ගලා නොබැසිම හේතුවෙන් සුළු වර්ෂාපතනයකදි පවා බගවන්තලාව ප්‍රදේශය ජලයෙන් යට වන බවයි පිඩාවට පත් බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

ධාරානිපාත වර්ෂාව අතරතුර රංගල ප්‍රදේශයේ ඔයක් උතුරා ජලයෙන් යට වූ පාලමකින් යතුරුපැදියකින් ගමන් කිරීමට උත්සාහ කළ පනස් හැවිරිදි පුද්ගලයකු ජල කඳට හසුවී ගසාගෙන ගොස් මිය ගිය බව පොලිසිය කියයි .

එසේ මියගොස් ඇත්තේ තෙල්දෙණිය ඩිපෝවේ රියදුරෙකු වශයෙන් සේවය කළ කපිල ප්‍රියන්ත (50) නමැති රංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .

ඔහු රාජකාරී නිමවා නිවෙස බලා යාම සඳහා රංගල බෝගහකුඹුර ඔය අසලට පැමිණෙන විට එම පාලම ජලයෙන් යටවී තිබී ඇති අතර ඔහු යතුරු පැදියෙන් පාලමෙන් එගොඩ වීමට උත්සාහ කිරීමේදී ජලපහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

අද (20) මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුර, බස්නාහිර සහ දකුණ පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාව පවතියි.

කෙසේවෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top