ජල විදුලි ජලාශ කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.
ඒ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන නොනවත්වා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන්.
නෝටන්බ්‍රිජ් සහ විමලසුරේන්ද්‍ර ජලාශ ඊයේ උදෑසන යළිත් පිටාර ගැලූ බවත්, මාසුස්සාකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණෙමින් තිබෙන බවත් විෂය භාර ඉංජිනේරුවන් පවසනවා.
ජලාශ තුනෙන් පෝෂණය වන ජල විදුලි සංකීර්ණ උපරිම විදුලිය නිපදවමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔවුන් සඳහන් කළා.
කෙසේ වෙතත්, කැලණි ගඟට අතිරික්ත ජලය මුදා හැරීමෙන් එහි ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
වර්ග අඩි 1,101 ක වේගයෙන් අතිරික්ත ජලය කලා ඔය ගඟට මුදා හැරීම සඳහා කලා ඔය වැවේ හදිසි වාන් දොරටු දෙක ඊයේ පෙරවරුවේ විවෘත කෙරුණා.
එමෙන්ම වැව භාර වාරි ඉංජිනේරුවරයා පැවසුවේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශයේ ධාරිතාව අක්කර අඩි 85,424 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ධාරානිපාත වර්ෂාව දිගටම පැවතුනහොත් ගංවතුර තර්ජනයක් ඇති විය හැකි බැවින් ගංඟාවේ පහත් බිම්වල වෙසෙන ජනතාවට පරිස්සම් වන ලෙස ඔවුන් නතුරු අඟවනවා.
මේ අතර නියඟයෙන් මාස පහකට අධික කාලයක් සිඳී ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව වැව පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, දැනට පවතින අධික වර්ෂාවත් සමඟ සමනල වැව පෝෂණය කරන බෙලිහුල් ඔය, හිරිකටු ඔය සහ දෙනගමුව ගංඟා ගොඩගැසී ඇති බවයි.