උතුරු මැද පළාතේ හඳුනාගත් ජලාශ සඳහා මත්ස්‍ය ඇඟිල්ලන් බහාලීම වැඩසටහන යටතේ 2023 වර්ෂය සඳහා මත්ස්‍ය ඇඟිල්ලන් ලක්ෂ 370 බහාලීමට උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මේ බව හෙළි වූයේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා රැස්වීම් ශාලාවේ පැවැති පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
දැනට වෙළඳ පොලේ තිලාපියා මත්ස්‍ය ඇඟිල්ලෙක් රුපියල් 4.50ක් පමණ වන අතර මෙම වැඩසටහන යටතේ මත්ස්‍ය ඇඟිල්ලන් ලක්ෂ 370 සඳහා රුපියල් මිලියන 17 ක මුදලක් පළාත් සභා අරමුදල් වෙන් වැය කරනු ලබයි.
උතුරුමැද පළාතේ ධීවර ජනතාවගේ ආදායම ඉහළ නැංවීම හා පළාතේ ජනතාවගේ විශේෂයෙන් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහන ප්රමුඛ අරමුණකි.
පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති පළාත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන මෙහෙයවනු ලබන අතර සෑම වර්ෂයකම හඳුනාගත් ජලාශ සඳහා මත්ස්‍ය ඇඟිල්ලන් බහාලීමට පළාත් ධීවර දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි.
මීට අමතරව පළාත් කිරි නිෂ්පාදනය පසුගිය වසරට වඩා කිරි ලීටර් ලක්ෂ 56 කින් ඉහළ ගොස් ඇති බවද මෙම ප්‍රගති සමාජ රැස්වීමේ දී හෙළිවිය . ලීටරයක මිල ද ඉහළ ගොස් ඇති නිසා පළාත තුළ කිරි ගොවීන්ගේ ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය මත කිරි ගව පාලනයට ජනතාවගේ වැඩි නැඹුරුවක් දක්නට ඇති බව ද හෙළි විය.
එමෙන්ම මැද කන්නයේ ලෙස මුං වගාව සාර්ථක වීම හේතුවෙන් මුං වගා කළ ගොවීන්ගේ ද ආදායම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත. පසුගිය කාලයේදී මුං කිලෝවක් විකිණීමේදී මිලෙහි පහල යෑමක් දක්නට ලැබුණ ද මේ වන විට මුන් ඇට කිලෝවක මිල රුපියල් 1200 -1400 දක්වා මිලකට අලෙවි වන බව මෙහිදී අනාවරණය විය. එමෙන්ම මෙම මෙවර කන්නයේදී බිත්තර වී බුසල් 32000ක් නිෂ්පාදනය කිරීමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත.
තිසර සමල්