ඉදිරි පැය 24 නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එනිසා අදාළ ප්‍රදේශ වලින් ගමන්ගන්නා වාහන සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර හපුතලේ ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කර ඇත.
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල, අඹේපුස්ස ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහි අගය මිලිමීටර් 105.8ක් ලෙස සඳහන් විය.
කෑගල්ල, වරකාපොළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට ද වැසි සමඟ හටගත් තද සුළඟක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට උඩුකුඹුර ප්‍රදේශයේ දී ගසක් කඩා වැටී රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
ප්‍රදේශයේ මාර්ග රැසක් වැසි ජලයෙන් යට වී තිබිය දී ඒ හරහා යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකු සැඩ පහරේ ගසාගෙන ගොස් තිබූ අතර, දොඹකරයක් ආධාරයෙන් ඔහු බේරාගෙන තිබිණි.
මේ අතර, කොළඹ නගරය අවට මාර්ග රැසක් ද ජලයෙන් යට වී තිබුණු බව වාර්තා විය.
එමෙන්ම කොළඹ ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම් ද වාර්තා විය.
වැසි හේතුවෙන් මීරිගම නගරය වසර ගණනාවකට පසු ඊයේ ජලයෙන් යට වී තිබූ අතර, ඒ සමඟ අවට පහත්බිම් රැසක් ද ජලයෙන් යට වී තිබිණි.
නාය යෑමක් හේතුවෙන් බෙරගල හා හල්දුම්මුල්ල ප්‍රදේශයේ නව ගම්මානයේ පුද්ගලයන් 159 දෙනෙකු තාවකාලික ව විපුලානන්ද දෙමළ විද්‍යාලයේ රැඳවීමට පියවර ගෙන ඇත.
මධ්‍යම කඳුකරයට ද වැසි ඇද හැලෙන අතර, ඒ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට ව තිබේ.
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස අවට ප්‍රදේශ රැසක් තවදුරටත් ජලයෙන් යට ව පවතින පසුබිමක, එලෙස මාස දෙකක් මුළුල්ලේ ගංවතුරෙන් පීඩාවිඳින පිරිස් අද විරෝධතාවක නිරත වූහ.