ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පත් කෙරුණු චිත්රසිරි කමිටුව විසින් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත ඇතුළත් වාර්තාව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත ඊයේ (08) නිල වශයෙන් බාර දුන්නේය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කෙරුණු “චිත්රසිරි කමිටු වාර්තාව” පසුගිය මාසයේ ජනාධිපතිවරයා වෙත බාරදී තිබූ නමුත් 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සහ 2024 අයවැය අවසානයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබු බව ජනාධිපති කාර්යාලය කියයි.
නමුත් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අවධානය සඳහා යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අදාල වාර්තාව ඇමැති අනු කමිටුවට බාරදී ඇත.
මෙම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය මුළුමනින් වෙනස් කිරීමට යෝජනා කර තිබෙන අතර එහි සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය ද සංශෝධනය කර ඇත.