ආදිවාසීන්ට නොතේරෙන භාෂාවලින් ගිවිසුම් අත්සන් කරවාගෙන ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හිර කරගෙන ඇති බව පවසමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ආදීවාසී නායක වන්නියලැත්තන් පවසන්නේ ජීවන බරින් මිරිකී සිටින අහිංසක ආදිවාසී ප්‍රජාව දුරදිග නොබලා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන ඇති අතර හේනානිගල,වාකරේ ඇතුළු තවත් ප්‍රදේශ වල ආදිවාසී ජනතාවද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමේ ගිවිසුම් බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන අතර ආදිවාසීන් බොහෝ දෙනකුට ඉංග්‍රීසි තබා සිංහල හෝ දෙමළ භාෂවන්වත් කියවීමට නොහැකි බව ආදීවාසී නායකයා පවසනවා.
ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස ණය බරින් පීඩා විඳීම හේතුවෙන් ආදිවාසී කාන්තාවන්ට ලිංගික අල්ලස් දීමට පවා සිදුව ඇති බවයි.
ආදිවාසී ජනතාව මෙන්ම සෙසු අහිංසක දුප්පත් ජනතාවද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරකරුවන් වී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද යෝජිත ණය නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර එය ක්‍රියාත්මක කළ හැකි නීතියක් බවට පත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආදිවාසී නායකයා මෙම ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.
ඔහු ජනාධිපතිවරයාගෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ බලපත්‍ර ලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වශයෙන් හෝ සමාගම් නීතිය වැනි වෙනත් නීතියක් යටතේ ලියාපදිංචි නොකළ ආයතන නීතියේ රැහැනට හසුකර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් සමඟ රතුගල ප්‍රාදේශීය නායක දානිගල බන්ඩලාගේ සුදු බන්ඩා, පොල්ලේබැද්ද ප්‍රාදේශීය නායක තලා බණ්ඩාලාගේ ගුණවර්ධන, හේනානිගල ප්‍රාදේශීය නායක තලාවරිගේ ගුණ බන්ඩියා සහ වාකරේ ප්‍රාදේශීය නායක නල්ලතම්බි වේලායුදන්,මුතූර් ප්‍රාදේශීය නායක එන්.කනගරත්නම් යන අය මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.
මේ අතර, මෙම ලිපියේ පිටපත් මහ බැංකු අධිපතිවරයාට මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයටද යොමු කර ඇති බව වාර්තා වෙනවා.