ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (21) පැවැත්වේ.
ඒ, ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේදීය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග 3 ම පරාජයට පත්ව සිටීම හේතුවෙන් තරගාවලිය පිළිබඳ යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමටනම් අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යය වේ.
නෙදර්ලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර තිබේ.
නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට පසුගියදා සමත් විය.
ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද (21) පෙරවරු 9.30 සිට සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවේ විකාශය කෙරෙන අතර TNL නාලිකාව ඔස්සේ සමගාමී විකාශයක් ලෙස ද ඔබ වෙත ගෙන එනු ඇති.
එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම පෙරේදා (17 වැනිදා) සමත් වීමත් සමග මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයට හෙවත් අවසන් ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය.
නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පෙරේදා තරගයට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානයේද නෙදර්ලන්තය 10 වැනි ස්ථානයේ ද රැඳී සිටි අතර එම පෙරළිකාර ජයග්‍රහණයත් සමග නෙදර්ලන්තය 09 වැනි ස්ථානයට පත් වූයේය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පෞද්ගලික හේතුවක් මත ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර නොබෝ දිනකින් ඔහු නැවත කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
නෙදර්ලන්තය පෙරේදා ලද ජයග්‍රහණය මෙවර තරගාවලියේ දෙවෙනි පෙරළිය ලෙස සැලකෙන අතර ලෝක ශූර එංගලන්තය පසුගිය 15 වැනිදා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වූයේය.
ඊයේ පැවති අවසන් පුහුණු සැසිය සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය පුහුණු සැසියක් නොවූ අතර, ඒ සඳහා එක් ව සිටියේ, ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් බව වාර්තා වේ.
එම ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ආබාධයකට ලක් ව සිටි ශ්‍රී ලංකා නිත්‍ය එක්දින නායක දසුන් ශානක ද සිටීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ මේ දක්වා සහභාගි වූ තරග තුනේ දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් විය.
ශ්‍රි ලංකාව සහ නෙදර්ලන්තය එක්දින ලෝක කුසලානයක දී එකිනෙකා හමු වන පළමු අවස්ථාව මෙය වන අතර, එම තරගය හෙට උදෑසන 10යි 30ට ආරම්භ වීමට නියමිතයි.