අලි මිනිස් ගැටුම ඇතුළු අනෙකුත් පරිසර ගැටළු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිසර සංවිධාන වලින් අදහස් ලබා ගැනීම පසුගියදා සිදු කෙරිණි. ඒ පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
පරිසරය, අලිඇතුන් සම්බන්ධයෙන් කටයුතු කරන පරිසර සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම වන අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධ ගැටළු නිරික්ෂණය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතාගේ ද සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පැවැත්විණි. මෙදින කාරක සභාවට සහභාගී වු පරිසර සංවිධාන අතර හස්ති රාජ පරපුර, “හුස්ම” සංවිධානය, “අලි ඇතුන් වෙනුවෙන් හඩක්” සංවිධානය, මහනුවර “Rainforest Protectors” සංවිධානය, “Rebuild Sri Lanka”,“හස්තීන්” සංවිධානය, මිහිසරණි ජාත්‍යන්තර සංවිධානය, හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් ක්‍රියාකාරී සංවිධාන නියෝජිතයෝ ද වුහ.
හබරණ, ගල්ගමුව, කුරුණැගල රිදියගම, මහනුවර ආදී බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණ පරිසර සංවිධාන නියෝජිතයෝ වන අලි සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව අදාල ප්‍රදේශවල මහජනතාව, ගොවි ජනතාව මුහුණපාන ගැටළු කාරක සභාව හමුවේ ඉදිරිපත් කළහ. වන අලි සහ හීලෑ අලි සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන පොදුවේ නියෝජනය වන පරිදි රැස්වීම සඳහා කැඳවා තිබුණු අතර කාරක සභා රැස්වීමේදී අනාවරණය වු ගැටළු සහ ඒ සඳහා වන යෝජනා ප්‍රධාන වශයෙන් පහත ආකාරයට ඉදිරිපත් කෙරිණි.
අලිමංකඩවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අලිමංකඩවල අනවසර ඉදිකිරීම් සඳහා අවසර ලබා නොදීම, අනවසර ඉදිකිරීම් සඳහා රක්ෂිතවල ඉඩම් නිදහස් නොකිරීම (රජයේ ඉඩම් පරිහරණය සම්බන්ධ නිසි ප්‍රතිපත්තියක් නොතිබීම), වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩලය සහ සම්පත් ගැටළුව මෙන්ම සිටින නිලධාරීන්ගේ ද අකාර්යක්ෂමතාවය, රේල් පාරේ අලි මිය යන්නේ ඒකම ස්ථානයක වන නමුත් අවුරුදු ගණනාවක් ගත වුවද මීටර් 7-8 ප්‍රමාණයේ අදාල ප්‍රදේශය හඳුනාගෙන ඒ සඳහා වෙනම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපොහොසත් වීම සහ මෑතකාලයේ අලි සංගනනයක් සිදු නොකිරීම පිළිබඳවද මෙහිදී අදහස් ඉදිරිපත් විය.
එමෙන්ම ග්‍රාම ආරක්ෂක නිලධාරීන් උණ්ඩ භාවිතා කිරීම සම්බන්ධයෙන් මාස 3කට වරක් වාර්තාවක් ලබා ගැනීමේ ( මෙම උණ්ඩ වන සතුන්ට ඒරෙහිව භාවිතා වේ) වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් වන සතුන්ගේ මස් වෙළදාම බහුලවම සිදු කරනුයේ ග්‍රාම ආරක්ෂක භටයන් හරහා බව එහිදී හෙළිදරවු විය. වනජීවී වෛද්‍යවරු දැනට පත්කරනු ලබන්නේ සහ අනුයුක්තව සිටින්නේ සත්ත්ව නිෂ්පාදන සහ පශු සම්පත් අමාත්‍යාංශය යටතේ වීම සහ ඒ වෙනුවට වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේම පශු වෛද්‍ය ඒකකයක් තිබීම යෝග්‍ය බවද නියෝජිතයෝ පෙන්වා දුන්හ. ඒසේම දැනට සිටින පශු වෛද්‍යවරු රට හැරයාම නිසා වෛද්‍යවරු හිඟයක් පවතින බවද සාකච්ඡා විය.
තවද, විදුලි රැහැන්වල පවතින වොට් ගණන සම්බන්ධ ප්‍රමිතියක් ඇතුළත් ගැසට් නිවේදනයක් තිබීමේ අවශ්‍යතාව, වනජීවී නීතිරීති සම්බන්ධ නිසි සංශෝධන හඳුනාගෙන සිදුකළ යුතු බව සහ දැනට වනජීවී ඝාතන සම්බන්ධ අයට පවතින ලිහිල් නීතිරීති නිසා ඇතිවන ගැටළු, අලිමංකඩවල් හරහා ගමන් කිරීමේදී දුම්රියේ වේගය සීමා කිරීමට කටයුතු කිරීම, තුවාල වන වනජීවී සඳහා ප්‍රතිකාර කළ පසු එම සතුන් සුවපත් වීම සම්බන්ධයෙන් පසුව නිරීක්ෂණය නොකිරීම, වනජීවී දෙපාර්තමේන්තුව මුදල් ඉපයීම සිදු කළද ඒම මුදල් ඒම දෙපාර්තමේන්තුවේ සම්පත් දියුණු කිරීම සඳහා යොදාගත නොහැකි වීම සහ අලි මිනිස් ගැටුම නිසිලෙස කළමනාකරණය සඳහා නව තාක්ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එසේම මෙහිදී අවධානයට ලක් වු ප්‍රධානම කරුණත් වුයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින රක්ෂිත වගාවන් සඳහා නිදහස් කර ඒවා ආරක්ෂා කිරීම වනජීවී දෙපාර්තමේන්තුව වෙත පැවරීමය. ඒසේම රක්ෂිත ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබා දී උපයා ගන්නා මුදලට වඩා වැඩි ආදායමක් නිසිලෙස කළමනාකරණ ලද වනසම්පත නිරීක්ෂණය කිරීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන්ට ඉඩ අවස්ථා ලබාදීම තුලින් උපයාගත හැකි බවටද මෙහිදී කරුණු ඉදිරිපත් විය. ඒ් සඳහා වන අලි සමඟ ජීවත්වන මිනිසුන් තුළද ආකල්පමය වෙනසක් සිදු කළ යුතු අතර වන අලි සහ වන සතුන් ඔවුන්ට ඩොලර් ලබාදෙන උල්පතක් ලෙස සලකා රැකබලා ගැනීම සම්බන්ධයෙන් නීතිරීති සමඟ යන ආකල්පමය වෙනසත් සිදු කළ යුතු බවට ද යෝජනා විය. ඒසේම පාසැල් දරුවාගේ මනසේ වන සතුන් කෙරෙහි ආදරයක් සහ සුරැකිය යුතු සම්පතක් ලෙස සිතීමට ආකල්පමය වෙනසක් සිදු කිරීම සඳහා පාසැල් විෂය මාලාවට වන සතුන් පිළිබඳව විෂය කොටස් ඇතුළත් කිරීම පිළිබඳව අදාල අංශ කැඳවා ඉදිරියේදී සාකච්ඡා කිරීමට ද යෝජනා විය.