ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් ඊයේ(15) පෙරවරුවේ පැවැසීය.
ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස සහභාගි විය.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව්දී හෙට (16) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසුවේ දසුන් ශානක පාදයක මස් ඉරීමේ ආබාධයකට ලක්ව ඇති බවත් ඔහුගේ තත්ත්වය පිළිබඳ මේ දක්වා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.
කෙසේ වෙතත් නිශ්චිත වශයෙන්ම ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයට සහභාගි විය නොහැකි බව කී එම නිලධාරියා ඇතැම් විට ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරඟ ද අහිමි වීමේ අවදානමක්ද ඇතැයි සඳහන් කළේය.
ආබාධයට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානකගේ ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ආදේශ කිරීමට තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පැවසීය.
ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයකු ආබාධයට ලක් වීමෙන් පසුව වෙනත් ක්‍රීඩකයකු ආදේශයට කිරීමට නම් එම තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබීම අනිවාර්යය වේ.
චාමික මේ වන විටත් ඉන්දියාවේ රැඳී සිටින අතර ඔහු නිල වශයෙන් සංචිතයට එකතු වීමට නියමිතය.