2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07) දකුණු අප්‍රිකාවට එරෙහිව නවදිල්ලි හි අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් ද දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙම්බා බවුමා විසින් ද මෙහෙයවනු ලබති.
කණ්ඩායම් දෙකම පෙරහුරු තරගවල දී දැක්වූ දක්ෂතාවලට වඩා මේ ආරම්භක තරගයේදී පෙරට පැමිණීමට උත්සහ දරන බැවින් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත.
තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 15 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව මූලික වටයේදී හොඳම කණ්ඩායම් හතර අතරට පැමිණ සිටිය යුතුය.
1996 වසරේ ශූරයන් වූ ද 2011 සහ 2007 වසරවල ක්‍රිකට් අනුශූරයන් වූ ද ශ්‍රී ලංකාව මෙම තරගාවලියට මුහුණ දෙන්නේ එම අභිමානය රැක ගැනීමේ අරමුණෙනි. කෙසේ වෙතත් 1979 වසර ට පසුව මෙවර ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණදීමට සිදු වූ අතර එම තරගාවලිය ජයගෙන ශ්‍රී ලංකාව මෙවර ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට මුහුණ දුන් ශ්‍රී ලංකාව එහිදී අනුශූරයන් බවට පත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියට මුහුණ දෙන්නේ යහපත් මානසිකත්වයකිනි.එහෙත් එහි අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ නොසිතූ විරූ පරාජයක් ලැබීමටද ශ්‍රී ලංකාවට සිදුවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙස අද තරග බිමට පිවිසෙන දකුණු අප්‍රිකාව කිසිදු අවසන් පූර්ව තරග සඳහා තරග සඳහා සුදුසුකම් නොලබා තිබීමද කැපී පෙනෙන සිද්ධියකි.
දෙපිලේම ප්‍රධාන ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව ඇති පසුබිමකදී, මෙම තරගය පැවැත්වීම විශේෂත්වයකි. දකුණු අප්‍රිකා වේගපන්දු යවන ඇන්රිච් නොර්ට්ජේ සහ සිසන්ඩා මාගලා කණ්ඩායමේ නොමැතිව තරග බිමට පිවිසෙන හෙයින් කගිසෝ රබාඩා කෙරෙහි බලාපොරොත්තු තබා ඇත. පසුගිය සංචාරයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වූ දඟ පන්දු යවන කේෂව් මහරාජ් සහ ටබ්රෙයිස් ෂම්සි සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙති.
ඩේවිඩ් මිලර් සහ නායක ටෙම්බා බවුමා ලකුණු අතරට පැමිණ සිටින හෙයින් කඩුලු රකින ක්‍රීඩක හා පිතිකරු ක්වින්ටන් ඩී කොක් සමඟින් සබඳතා ගොඩ නැඟීම ශ්‍රී ලංකාවට භයානක විය හැකිය.
වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීර වැනි ප්‍රධාන පන්දු යවන්නන් අහිමි වුවද ශ්‍රී ලංකාවට මහීෂ් තීක්ෂණ සහ වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ නිසි සේවයක් ලබා දුණහොත් දකුණු අප්‍රිකානුවන් ගැටලු රාශියකට මුහුණ දෙනු ඇත. ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ සහ කසුන් රාජිත වැනි වේග පන්දු යවන්නන්ගෙන් දෙදෙනෙකුට අද තරගයේ අනිවාර්ය අවස්ථාව ඇති අතර, එල්පීඑල් තරගාවලියේදී දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ හා කසුන් රාජිතට වැඩි අවස්ථා නිර්මාණයවී ඇත.
දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක සහ සධීර සමරවික්‍රම වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කිරීමට අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් සූදනමින් සිටී. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහ නායක දසුන් ශානකගේ දස්කම් මේ දිනවල යම් කනස්සල්ලක් ඇති කළ ද, ඔවුන් තුළ ඇති දැඩි අධිෂ්ඨාන ශක්තිය වැදගත් සාධකයක් වනු ඇත.
පසුගිය කාලයේ අනපේක්ෂිත අයුරින් ක්‍රීඩකයින් ආබාධවලට ලක්වුණත් හොඳින් දස්කම් දැක්වීමට කණ්ඩායමේ අධිෂ්ඨානය කිසිඳු අයුරකින් අඩුවී නැතැයි නායක දසුන් ශානක මාධ්‍ය හමුවේ පැවැසීය. “පසුගිය කාලයේ අපි ආබාධවලට ලක්වෙලා ගොඩක් ඉදිරියට එන්න උත්සහ කළා. ඒත් එක්කම අපි ළඟ හොඳ ක්‍රිකට් වාර්තා කිහිපයක් තියෙන බව මතක් කළ යුතුයි. ඔබ දන්නවා. කණ්ඩායමක් ලෙස අප මෙයට පෙර දක්ෂතා දැක්වූ ආකාරය. අපි ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැමෝටම ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි අපි මේ තරගාවලියේ හොඳින් දස්කම් දක්වන්න සූදානමින් සිටින කණ්ඩායමක් බව. ඒ ආරම්භය අද තරගයේදී ලබා ගැනීමට සූදානමින් සිටිනවා” දසුන් ශානක පැවැසීය.
මෙවර තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් සමග තරගවැදීය යුතු අතර ඒ අනුව ශ්‍රී ලංකාව අදින් අරඹන මූලික සටන ලබන නොවැම්බර් 09 වැනිදා දක්වා දුර ඇදී යනු ඇත. ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වන අවසන් තරගය නවසීලන්තය සමඟ පැවැත්වේ.
මෙම තරගාවලියේ මුහුණ දුන් පුහුණු තරග දෙකෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග එක්දින තරග 80ක් පවත්වා ඇති අතර ඉන් තරග 45ක් දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.
ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග 33ක් පමණි.
එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.
තවත් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් වරට පැවති තරග 5න් 3ක් දකුණු අප්‍රිකාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 2ක් ජයගෙන ඇත.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය TV1 නාලිකාව ඔස්සේ සහ www.sirasatv.lk ඔබට සජීව ලෙස ඔබට නැරඹිය හැකියි.
ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුෂංක, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, අතිරේක – චාමික කරුණාරත්න, (අතිරේක)
දකුණු අප්‍රිකා: ටෙම්බා බවුමා (නායක), ක්වින්ටන් ඩී කොක්, වැන්ඩර් ඩුසේන්, රීසා හෙන්ඩ්රිකස්, ඩේවිඩ් මිලර්, ෙඑයිඩන් මාර්ක් රාම්, හෙන්රිච් ක්ලාසන්, මාර්කෝ ජැන්සන්, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා, ටබ්රෙයිස් ෂම්සි, ලුන්ගි එන්ගිඩී, ඇන්ඩිල් පෙහෙලුක්වායෝ, ගෙරල්ඩ් කෝට්සී, ලිසාඩ් විලියම්ස්, ඇන්රිච් නොර්ට්ජේ, සිසන්ඩා මාගලා