ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස විචාරකයන්ගේ නොමඳ ගෞරවයට හා පැසසුමට පාත්‍ර වූ මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රීඩා හා පෞද්ගලික ජීවිතයේ සිදු වූ විවිධ හැලහැප්පීම් පාදක කරමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නිපද වූ ‘800‘ චරිතාපදාන සිනමා නිර්මාණය මුරලිදරන් සිය ටෙස්ට් ජීවිතයේ ගාල්ලේදී ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගයේදී කඩුලු 800 සම්පූර්ණ කිරීමේ 13 වැනි සංවත්සරය දිනය යෙදී ඇති අද දින රිදී තිරයට එක් වෙයි.
දෙමළ සිනමා අධ්යක්ෂ එම්.එස්.ශ්‍රීපති සහ බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලක එක්ව තිර රචනය කළ මේ චිත්‍රපටය ශ්‍රීපතිගේ අධ්‍යක්ෂණයකි. ජාත්‍යන්තර කීර්තියට පත් වූ ‘Slumdog Millionaire‘ චිත්‍රපටයේ රඟ පෑ මාතූර් මිටාල් මේ චිත්‍රපටයේ මුරලිගේ භුමිකාවට පණ පොවා ඇත. දෙමළ බසින් නිපද වූ ‘800‘ චිත්‍රපටය හින්දි හා තෙළිඟු හා සිංහල බසින් හඬ කවා ඇති අතර, තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ මෙන්ම තවත් රටවල් රැසක ඉංග්‍රීසි බසින් උපශීර්ෂ සමඟ තිරගත කෙරේ.
මුරලිගේ චරිතයට පණ පොවන්න විජය සේතුපති තෝරා ගෙන තිබුණත් තමිල්නාඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගේ දැඩි බලපෑම් මත සේතුපති ඉන් ඉවත්වීමට තීරණය කරන ලදී. ඒ අනුව ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ Slumdog millionaire චිත්‍රපටයේ සලීම්ගේ චරිතයට පණ පෙවූ මධූර් මිට්ටාල්, මුරලිගේ චරිතයට රංගනයෙන් දායක වෙති. 800 චිත්‍රපටය අද (06 වැනිදා) සිට භාෂා හතරකින් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර 800 සිනමා නිර්මාණය ලංකාවට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊ. ඒ. පී. සිනමා මණ්ඩලය විසිනි.
ලොවපුරා මෙම චිත්‍රපටය තිරගත වන අද දිනයේදී විශේෂ මංගල දර්ශනයක් වැල්ලවත්ත රොක්සි සිනමාශාලාවේදී සවස 7.00 ට සිදු කිරීමට නියමිතය. ඒ සඳහා 96 ලෝක ශූරයන්ද සමග අපේ රටේ ජනප්‍රිය ක්‍රිකට් තරු, සිනමා හා ටෙලි තරු රැසක් සහභාගි වීමට නියමිතය. ඉතිං අද දවස මුත්තයියා මුරලිදරන් නමැති ක්‍රිකට් ක්‍රීඩකයාට සුවිශේෂී දිනයකි. ඒ මන්ද යත් ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගීම හේතුවෙනි.