Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිල්වලා ගඟේ ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකියි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිල්වලා ගඟේ පහළ ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වය අද (06) දිනයේ තවත් ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

මේ අතර , වර්ෂාවත් සමග පීඩාවට පත් සංඛ්‍යාව 55780 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මාතර,දියලපේ තැන්නපිටිහේන ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා.

මෙම නාය යෑම හේතුවෙන් පවුල් 30කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ නාය යෑම සිදු වූ ස්ථානයට ජනතාවට නොයන ලෙසයි.

කෙසේ වෙතත්, නාය යෑමෙන් ජිවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (05) දිනයේදීත් යළිත් වරක් තැන්නපිටිහේන ප්‍රදේශයෙන් නාය යෑමක් වාර්තා වූ බැවින් තවත් පවුල් 10කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ආපදා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ස්ථානය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසයි.

මේ අතර ගාල්ල, හම්බන්තොට, කලු‍තර, කෑගල්ල, මාතර, රත්නපුර සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නාය යෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

Scroll to Top