1980 සිට, සෑම සැප්තැම්බර් 27 වන දිනකදීම, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින්, ලෝක සංචාරක දිනය උත්සවාකාරයෙන් සමරා ඇත.
තිරසාර වගකිව යුතු සහ විශ්වීයව සැමට සමීප විය හැකි සංචාරක ක්ෂේත්රයක් බිහිකිරීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සංචාරක සංවිධානය(UNTWO) මෙම දිනය ප්‍රකාශයට පත් කළේ 1980 වසරේදීයි.
සෑම වසරකම සැප්තැම්බර් 27 වනදා ලෝක සංචාරක දිනය සමරනවා. මෙවර එහි තේමාව වන්නේ සංචාරක හා ග්‍රාමීය සංවර්ධනය යන්නයි. දිගු කාලීනව සමස්ථ ආර්ථික සංවර්ධනයක් ලගා කර ගැනීම සදහා බිම් මට්ටමේ සිට ජනතාව කෙන්ද්‍ර කරගත්, තාක්ෂණය මත පදනම් වූ සහ තිරසර සංවර්ධනයක් සංචාරත ක්ෂේත්රය ඔස්සේ ඇති කිරීම ලෝක සංචාරක දිනයේදී අරමුණු කෙරෙන ඉලක්කයක්.
ප්‍රෞඪ ඉතිහාසයකට හා සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වැනි රටකට සංචාරක දිනය යෙදෙන මේ මොහොත අවස්ථා රැසක් නිර්මාණය කරයි.
සුවහසක් ලෝක වාසී සංචාරකයින් ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීමටත් දේශගුණික තත්ත්වවල සුවදායීත්වයටත්,සරල ජීවන ස්වභාවයටත්, ඓතිහාසික වටිනාකම් සහිත ස්ථානවලටත් ඇදී ඒම ඈත අතීතයේ පටන් සිදු වෙයි.
ස්වභාව සෞන්දර්ය මෙන්ම ආගන්තුක සත්කාරයෙන් අනූන රටක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටින ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත.
මේ වසර මුල සිට යළිත් මෙරට සංචාරක කර්මාන්තයේ ක්රමික වර්ධනයක් දැකිය හැකියි.
ඊයේ (26) දිනයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියේ යළිත් වරක් සංචාරක ක්රමාන්තය ස්ථාවර වීමේ ලකුණු පළ කරමිනි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ, මැදපෙරදිග රටවල්වලින් මෙන්ම ස්පාඤ්ඤය,නෙදර්ලන්තය, බෙලරූස්, ඊශ්‍රායලය ආදී රටවල් රැසකින් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
ඒ සඳහා පහසුකම් සැපයීමට විශේෂ වැඩසටහන් සකස් කර ඇති බව ඔහු පැවසීය.
මෙරටට විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයෙන් අපේ රටට විදේශ විනිමය ගැටලුවට ද ඵලදායී විසඳුමක් ලැබෙනු නොඅනුමානය.
දස ලක්ෂය වැනි සංචාරකයා සහ ඔහුගේ පවුලේ අය පිළි ගැනීමට විශේෂ උත්සවයක් ඊයේ (26) ගුවන්තොටුපළේදී පැවැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම සංචාරක පැමිණීම සමරා තිබෙන අතර මෙය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට විශේෂ සංධිස්ථානයක් බව ද එය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද එම අධිකාරිය සඳහන් කරයි.
කෙසේ වුවද මේ මාසයේ මුල් දින 24ක කාලයේදී විදෙස් සංචාරකයන් 88,885ක් මෙරටට පැමිණ තිබෙන අතර ඒ අනුව එදින වන විට විදෙස් සංචාරකයන් 993,203 දෙනකු මෙරටට පැමිණ තිබිණි. කෙසේ වුවද ඊයේ වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 10ක් මෙරටට පැමිණ තිබෙන අතර මේ මාසයේ දෛනික සාමාන්‍ය සංචාරක පැමිණීම 3,700ක් බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මේ වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වී තිබෙන අතර එම ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ඇතැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර මේ වසරේ මුල් මාස අටක කාලයේදී සංචාරක ඉපයීම රුපියල් කෝටි 41,600ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1,300) වන අතර එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 56.7ක වර්ධනයක් බව ද පසුගිය අගෝස්තු මාසයේදී පමණක් සංචාරක ඉපයීම අමෙරිකානු ඩොලර් මිලියන 210.5ක් වන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.