රටේ ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීම් ක්ෂේත්රයේ පරිපාලන මූල්‍ය ගැටළු, ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් ගැටළු රැසකට මුහුණ දී ඇති බවත්, රජයේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සිමෙන්ති සහ දඟර වානේ වැනි අමුද්‍රව්‍ය මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණ පවසයි. එසේ බදු අඩු කළහොත් සිමෙන්ති කොට්ටයක් රු. 1850 ක මුදලකට ලබා දිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. මේ සම්බන්ධව (14) පැවැති මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස්
- එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක – ඉංජිනේරු සුමේධ රත්නායක
අද රටේ ඉදිකිරීම් ක්ෂේත්රය පත්වෙලා තියෙන තත්ත්වය ගැන අපිට ඉතාමත් බරපතළ හැඟීමක් ඇතිවෙලා තියෙනවා. මේ රටේ ආසන්න වශයෙන් දස ලක්ෂයක් පමණ සෘජු රැකියා මගින් ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු කළා පහුගිය කාලයේදී. ඒ වගේම වක්‍රාකාරයෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව නොයෙකුත් අමුද්‍රව්‍ය නිෂ්පාදනය ආශ්‍රිතව ඉතාමත් විශාල ප්‍රමාණයක් රැකියා සැපයිලා තිබෙනවා. අපි දන්නවා ඉදිකිරීම් ක්ෂේත්රය 57% කින් විතර රටේ මේ වෙනකොට කඩා වැටී තිබෙනවා.
ක්ෂේත්රයේ විශාල කාලයක් සේවය කරපු පුද්ගලයින් විදිහට අපිට යම්කිසි දැක්මක් තිබෙනවා අපිට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා මේ ක්ෂේත්රය නැවත යම් පමණකින් හෝ ඔසවා තැබීමට. උදාහරණයක් විදිහට ගන්නවා නම් දැනට ඉදිකිරීම්, අමුද්‍රව්‍ය ඉතාමත් අධික ලාභ තබාගෙන, ඉතාමත් ඉහළ මිලකට තමයි විකිණීම සිද්ධවෙන්නේ. ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා පාවිච්චි කරන සිමෙන්ති කිලෝග්‍රෑම් පනහේ බෑගයක් මේ වෙනකොට 2150 පමණ මිලකට තමයි විකිණෙන්නේ. පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරපු ඒ වාර්තාවේ ඒ වාර්තාව අපි දැක්කා. ඒ වාර්තාවට වෙළඳ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරලා තිබුණා මේ සිමෙන්ති මිල හැදිලා තිබෙන ආකාරය පිළිබඳ විශ්ලේෂණය.
ඒ දිහා බැලුවහම, ඔවුන් ඉදිරිපත් කරලා තිබුණෙත් 2150 වගේ මුදලකට තමයි මේක විකුණන්න සිද්ධ වෙන්නේ කියලා. නමුත් අපි විසින් ඒක ඉතාම හොඳින් අධ්‍යයනය කරපුවහම අපි දුටුව දේ තමයි සිමෙන්ති බෑගයක් රුපියල් 1850 ක් වගේ මිලකට විකුණන්න පුළුවන්. මේ තුළ රු. 300-400 ක පමණ අයුතු ලාභයක්, අධික ලාභයක් මේ වන විටත් තබා ගනිමින් කියලා. ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ සිමෙන්ති රුපියල් දෙදාස් හයසිය පනහට වගේ විකුණනකොට මේ සිමෙන්ති වෙළඳාමෙන් ඒ ආයතන රුපියල් හත්සීයක පමණ බරපතල අධික ලාභයක් ලැබුවා. මේ ලාභය මගින් අපේ පාරිභෝගිකයින්ට විශාල සූරාකෑමක් ඇති වෙලා තියෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉන්න ඒ නිවාස සාදන කට්ටිය. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්රය බරපතළ පසුබෑමකට ලක්වීමට මේ අධික ලාභය හේතු වෙලා තියෙනවා. 1850 කියන අපි කියන ඒ මුදල තුළත් රජය විසින් වක්‍රාකාරව හා සෘජුව ලබා ගන්නා බදු තිබෙනවා රු. 850 ක්. ඒ කියන්නේ බදු ඉවත් කළොත් එහෙම සිමෙන්ති වල මුල වෙන්නේ රු. 1000 ක් වගේ ප්‍රමාණයක් තමයි මේ කිලෝ ග්‍රෑම් 50 ක බෑග් එකක්. අපි කියන්නේ නෑ බදු මුළුමනින්ම අයින් කරන්න කියලා රජයට. රජය මගින් 50% ක විතර බදු ලබාගන්නවා සිමෙන්ති බෑගයක් තුළින්. ඒ නිසා ඒ බදු සාධාරණ මට්ටමකට අඩු කළා නම් මේ සිමෙන්ති වල මිල තවත් අඩු කරන්න පුළුවන්.
මුදල් කාරක සභා වාර්තාවේ දක්වලා තිබෙනවා ඒ අමාත්‍යාංශයේ ලියුම ඉදිරිපත් කරලා. ලාභ සහිතව විකුණන්නට පුළුවන් කියලා දඟර වානේ මෙට්‍රික් ටොන් එකක් රු.290,000කට. මේ තුළත් රු. 49,000 ක බද්දක් තියෙනවා රජය ටොන් එකකින් අය කරන ඒ ආයතන මගින් ලබන ලාභයට අමතරව, මෙන්න මේ බදු මුදලත් සාධාරණ මට්ටමකට අඩු කළා නම් මේ මුදල තවත් අඩු කරන්න පුළුවන්.වෙළඳපලේ මේ වෙනකොට විකිණෙන එස්. එල්. එස්. ශ්‍රී ලංකා ප්‍රමිතිය තිබෙන ඒ දඟර වානේ ටොන් එකක්. රු. 360,000 කට පමණ තමා විකිණෙන්නේ. ඒ නිසා ඒ තුළත් අපිට පේනවා එක ටොන් එකකින් රු. 70,000 ක පමණ අධික ලාභයක් ලබනවා මේ වෙළඳ සමාගම මේ සඳහා රජය මැදිහත් වෙලා වහාම මේ අධික ලාභය අඩු කරලා රජය පැත්තෙන් අය කරමින් පවතින අධික බදු මුදල් අය කරලා ඒ අමුද්‍රව්‍ය වල අපි මේ සිමෙන්ති සහ යකඩ ගැන පමණක් කතා කළාට සෑම අමුද්‍රව්‍යයක්ම මේ වගේ මට්ටමකින් බදු සහ අධික ලාභ ලබමින් තමයි විකිණෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආකාරයේ මැදිහත් වීමක් රජය කරනවා නම් අනිවාර්යයෙන් අද මේ ඉදිකිරීම් ක්ෂේත්රය බිඳ වැටිලා තිබෙන තත්වයෙන් ගොඩ ගැනීම සඳහා විශාල කාර්යභාරයක් කළ හැකියි.
උදාහරණයක් විදිහට කියනවා නම් මේ ඉදිකිරීම් කර්මාන්තයේ බිඳ වැටීම ගැන උදාහරණ නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2015 සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යවරයා විදිහට ඉන්න කාලයේදී ආරම්භ කළ නිවාස වලින් මේ වෙනකොට තවත් නිවාස 96,715 ක් කරන්නැතුව ඉතිරි වෙලා තියෙනවා. මේ නිවාස ඉදිකිරීම නිම කිරීමට රුපියල් බිලියන 25ක් විතර වගේ තමයි අවශ්‍ය වෙන්නේ. 2015 ඉඳන් අද වෙනකොට අවුරුදු අටක් ගිහිල්ලා මේ නිවාස ව්‍යාපෘතියෙ ආරම්භ කළ නිවාස 96715 ක් නිමාවෙලා නෑ කියන්නේ ඒක කොයිතරම් අපරාධයක්ද?
- අමිල් ප්‍රියන්ත – එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික, වරලත් ඉංජිනේරු
මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කර්මාන්තයක් කරගෙන යන ව්‍යවසායකයෙක් විදිහට 2003 තමයි අපේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ව්‍යාපාරයක් පටන් ගන්නේ. අද 2023 වෙද්දී අවුරුදු විස්සක් දශක දෙකක් මගේ පළපුරුද්ද අනුව මේ ක්ෂේත්රයේ මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ අවුරුදු විස්සටම මේ දැන් තමයි අපි මේ මේ තරම් අපහසු කාලයකට මුහුණ දෙන්නෙ.
විවිධ හේතූන් නිසා, පහුගිය රජය විසින් ගත්ත අත්තනෝමතික තීරණ නිසා, සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා තියෙන අවස්ථාවක මේ අපේ ඉදිකිරීම් ක්ෂේත්රයටත් විශාල බලපෑමක් ඇතිවෙලා තියෙනවා. මෙම ක්ෂේත්රයේ සම්පූර්ණයෙන්ම සෘජුවම ඉංජිනේරුවන් අනිත් වෘත්තිකයන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයන් සහ අනිත් ක්ෂේත්රයේ සියලුම අය ලක්ෂ හයක වගේ ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කළා. වක්‍රව තවත් ලක්ෂ හයහමාරක් විතර සම්පූර්ණයෙන් ගත්තොත් ලක්ෂ දොළහමාරක් දහතුනක් වගේ රටේ ශ්‍රම බලකායක් වැඩ කරපු ක්ෂේත්රයක් මේ කඩා වැටිලා තියෙන්නේ අද වෙද්දි. මේකට හේතු ගොඩක් බලපානවා. එකක් තමයි රජය විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණ.
ඒ වගේම කූට ව්‍යාපාරික පැලැන්තිය විසින් මේ අමුද්‍රව්‍යවලට අධික ලාභයක් ලබා ගැනීමට යාම. සිමෙන්ති, කම්බි, අනිත් ටයිල් වර්ග සහ හුඟක් ඒවා අපි මේ ඉදිකිරීම් ක්ෂේත්රයේ විශාල ප්‍රමාණයක් ගෙන්නනවා පිටරටවල් වලින්. බැලුවහම ඒවාට ඔක්කොටම අධික ලාභයක් ලබාගෙන තමයි මේ රටේ ඩොලර් එක තිබ්බ පහුගිය අවුරුදු තුන, 2020-23 ඇතුලත තියෙන මේ ප්රශ්නය දඩමීමා කරගෙන අධික ලාභයක් මේ කූට ව්‍යාපාරිකයන් ලබන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ ඉදිකිරීම් ක්ෂේත්රයම 50% කින් අකුලලා දැමීම තමයි කරලා තියෙන්නේ. ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ නැත්නම් මේ අපිට එන ක්‍රම දෙකක් තියෙනවා.
රාජ්‍ය අංශය විසින් අපිට ලබාදෙන වැඩ. ඊට අමතරව පුද්ගලික අංශය විසින් ලබාදෙන වැඩ. මේ වෙද්දී රට බංකොලොත් තත්ත්වයක තියෙන්නේ. ගිය අවුරුද්දේ සහ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ රජය විසින් කිසිම ප්රතිපාදනයක් වෙන් කරලා නෑ රාජ්‍ය අංශයේ ව්‍යාපෘතිවලට. ඒ නිසා අපි දන්නවා ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැලෙන කොන්ත්‍රාත්කරුවන් විදිහට, රාජ්‍ය අංශයෙන් අපිට කිසිම ව්‍යාපෘතියක් ටෙන්ඩර් පටිපාටියෙන් ගිහිල්ලා හෝ කිසිම ක්‍රමවේදයකින් අපිට ගන්න පුළුවන්කමක් නැහැ කියලා. නමුත් මේ අමුද්‍රව්‍ය මිල අධිකකම නිසා අඩු ම ගානේ පුද්ගලික අංශයේ ආයෝජකයන්ට නැත්නම් ව්‍යාපාර කරන අයටවත් ඒගොල්ලන්ගේ වෙන් කරලා තියෙන මුදලට සපයන විදිහට වැඩක් පටන් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ අධික මිල ගණන් නිසා. ඒ නිසා ඒගොල්ලෝ දැනටත් තාම තීරණයක් නොගෙන ඉන්නවා. අපි ව්‍යාපෘතියක් පටන් ගන්නවාද නැද්ද කියන තත්වය අනුව.
ඒ අනුව මේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉන්න සියලුම කොන්ත්‍රාත්කරුවන් සහ ඒ සම්බන්ධ සියලු දෙනා මේ වෙද්දි අවුරුදු ගාණක් තිස්සේ තමන් එකතු කරගත්ත මොකක් හරි ප්‍රාග්ධනයක් තිබ්බනම් ඒක නැති කරගෙන යනවා. ඒ අය යන්ත්රසූත්ර මිලදී අරගෙන තියෙනවා ලීසිං පහසුකම් මත. ඒවා ඔක්කොම එක තැන නැවතිලා. ඒවා ඒ කියන්නේ ඒවා වැඩ කරන්න කිසිම දෙයක් නැතුව ඒගොල්ලන්ගේ වල දැන් ගාල් කරලා තියෙනවා. ඒවාට අයිති වෙනවා. ජේ. සී. බී. යන්ත්‍ර, ටිපර් යන්ත්‍ර, ක්‍රේන් වර්ග ඉදිකිරීම් ක්ෂේත්රයේ පාවිච්චි කරන ලද සියලූම යන්ත්‍රෝපකරණ අද කිසිම වැඩක් ගන්නේ නැතුව, එක තැන යකඩ බවට, නැත්නම් මලකඩ කාලා ඒ විනාශ වෙලා.
තව අවුරුදු දෙක තුනකටවත් මේ තත්ත්වයෙන් ගියොත් එහෙම අපිට රාජ්‍ය අංශයෙන් කිසිම පහසුකමක් ලබාගන්න බෑ මේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ව්‍යාපාර ආරම්භ කරයි කියලා. අඩුම ගානේ මේ කූට ව්‍යාපාර කරන මිල ගණන් අධික ලෙස ඉහළ දමන ඒ පැළැන්තියේ කිහිප දෙනෙක් විසින් පවත්වාගෙන තියෙන ඒකාධිකාරය නවත්තලා අඩුම ගානේ පුද්ගලික අංශයේ ආයෝජනය කරන්න කැමති අයට ඒ ආයෝජනය කරන්න හැකිවන පරිදි අමුද්‍රව්‍ය මිල ගණන් අඩු කරලා දීලා ඒ ව්‍යාපෘති පටන් ගත්තොත් සමාජයේ අසරණ වෙලා ඉන්න මේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැලුණු ලක්ෂ දහතුනක් පමණ වෙන වෘත්තිකයන් සහ අනෙකුත් සියලූම සේවකයන්ට යම්කිසි අත්වැසුමක් අපිට හම්බෙනවා.
- සංජීව රත්නායක – වරලත් ප්‍රමාණ සමීක්ෂක
වෘත්තීයවේදීන් සහ මේ ක්ෂේත්රයේ සේවකයන් හැටියට සේවයේ නියුතු පුද්ගලයන්ට සහ ඒ ක්ෂේත්රය අවට ඒ වක්‍ර රැකියාවල නියුතු වෙච්ච අයට මේ වනවිට අත්වෙලා තියෙන ඉරණම හා ඒ පිළිබඳව යම්කිසි ධනාත්මක වෙනසක් රජය මඟින් තවමත් ඉටු වෙලා නෑ. ලංකාවේ බොහෝ අධ්‍යාපන ක්ෂේත්රවල හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඉස්සර ඉංජිනේරුවෙක් උනොත් හොඳ ජීවිතයක් ලබා ගන්න පුළුවන් වගේ අදහසක් රටේ යම් කාලයක් තිස්සේ පැලපදියම් වෙලා තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය බොහොම වෙනස් විදියට හිතන්න වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රය තමයි මේ ආර්ථික අර්බුදයේ මුලින්ම පහර කෑමට ලක්වුනේ. කොන්ත්‍රාත් ආයතන වලට ගෙවීම් නැවතීම හරහා තමයි මූල්‍ය අර්බුදයක ප්‍රධාන සලකුණු ලැබුණේ.
අර්බුදය එනවත් එක්කම රජයට තියෙන ඉතාම පහසු ක්‍රමයක් වුණේ කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවීමට තිබුණු රු. කෝටි 20 කට අධික ගෙවීම් නවත්වා දැමීම. ඒ ගෙවීම් නවත්වා දැමීම හරහා ඉදිකිරීම් ක්ෂේත් රයට සම්බන්ධ සියලුම ක්ෂේත්‍ර; ගොඩනැගිලි ඉදිකිරීම්, පාලම් ඉදිකිරීම්, මාර්ග ඉදිකිරීම්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම් ඇතුළු සම්බන්ධ සියලු තැන්වල ගෙවීම් නැවතුණා. ඒ වගේම සැපයුම්කරුවන්ට වන ගෙවීම් ඒ හරහා වක්‍රව උප කොන්ත්‍රාත්කරුවන්ට වන ගෙවීම් නැවතුණා. මේ ගෙවීම් ජාලය අවසානයේ මේවයේ සේවයේ නියුතු වෘත්තීයවේදීන් සේවකයන් දක්වා පල්ලෙහාට ගලාගෙන ගියා. දැන් ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තීයවේදීන් සහ සේවකයන් සෘජු රැකියාවල ලක්ෂ දහතුනක් පමණ සේවය කරනවා. ඊට අමතරව තව ලක්ෂ දහයක් විතර වක්‍ර රැකියා හැටියට සේවය කරනවා. මේ සේවකයෝ ක්‍රමිකව කප්පාදුවට ලක් වුණා.
අර්බුදය තීව්ර වෙද්දි, ඒ කියන්නේ ඉදිකිරීම් ආයතන වලට තවදුරටත් ඒ වියදම් දරාගෙන සිටින්න නොහැකි වීමත් සමඟ ආයතනවල සේවකයන් ප්‍රමාණය අඩු කරන්න සිද්ධ වුණා. ඒ සමඟ ඔවුන් වෙන රැකියාවකට යා නොහැකි රැකියා විරහිත පුද්ගලයන් හැටියට සමාජයට එකතු වුණා. ඒ කියන්නේ සිවිල් ඉංජිනේරුවරයෙක් රැකියාව අහිමි වුණොත් සිවිල් ඉංජිනේරුවෙක් හැටියට මේ රට තුළ වෙනත් රැකියාවකට යා නොහැකි මට්ටමකට පත්වෙනවා. මොකද මේ වනවිට සියලුම සියලුම ඉදිකිරීම් ආයතන තියෙන්නේ මූල්‍ය අර්බුදයක. අලුතෙන් ආයෝජනය කිරීම්, ඉදිකිරීම් ක්ෂේත්රයට නැවතිලා. රාජ්‍ය ආයෝජන නැවතිලා. රාජ්‍ය ආයෝජන සඳහා කරපු ඉදිකිරීම් වලට ගෙවීම් නැවතිලා. ඒ එක්කම රට ඇතුලේ රික්තකයක් නිර්මාණය වෙලා තියෙනවා.
තවදුරටත් රැකියා ඉදිකිරීම් ක්ෂේත්රය සම්බන්ධයෙන් ලබාගත නොහැකි. එක ම විකල්පය බවට පත්වෙලා තියෙන්නේ විදේශයක රැකියාවක් සොයාගෙන මේකෙන් එළියට යන එක. ඒක තමයි වෘත්තීයවේදීන්ට තියෙන එකම අවස්ථාව බවට පත්වෙලා තියෙන්නේ. රජය නිසි ලෙස මේක කළමනාකරණය කරගෙන නැති හින්දා. රජය යම්කිසි වැඩපිළිවෙලක් ගොඩනඟලා එක්කෝ උපදේශන සේවා හෝ යම්කිසි ඉංජිනේරුමය ඉදිකිරීම් සඳහා වන උපදේශක සේවා වැනි දේවල් විදේශගත සමාගම් සඳහා ලංකාවේ සිට ලබා දීම.
එහෙම නැත්නම් විදේශගත ඉදිකිරීම් කටයුතු සඳහා ලංකාවේ ආයතනවල සහයෝගය ලබාදීම හෝ ඔවුන් විදේශගත කොන්ත්‍රාත්කරුවන් හැටියට ක්‍රියාත්මක කිරීමට යම්කිසි මග පෙන්වීමක් හෝ සම්බන්ධීකරණයක් ලබාදීම වගේ කාරණා හරහා මේ ක්ෂේත්රයේ මේ එක තැන හිරවෙලා තියෙන කරුණු ටික රටෙන් එළියට ගෙනිහිල්ලා අපේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න පුළුවන් මට්ටමකට ඉහළට ගොඩනගා ගන්නට යම්කිසි උත්සාහයක් නොදැරීම හරහා සියලුම වෘත්තීයවේදීන් තමන්ගේ රැකියා අහිමි වීමත් සමඟ රටින් පිටතට ගලා යාම නවත්තන්න බැරි වෙලා තියෙනවා.