2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය – පාකිස්තාන සුපිරි 4 වටයේ තරඟය ඊයේ (11) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවිය.
එම තරගයෙන් ලකුණු 228ක දැවැන්ත ජයක් ලබා ගත් ඉන්දියාව සුපිරි 4 වටයේ පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජයගෙන ඉදිරියටම යන්නේ දැවැන්ත දල ලකුණු ලබා ගැනීමේ වේගයක් (NRR) ද රඳවා ගෙනයි.
ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 356ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර එය වාර්තාගත ලකුණක් විය. ආසියානු කුසලාන ඉන්දු පාකිස්තාන තරගයක් තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සහ ඉන්දු පාකිස්තාන එක්දින තරග ඉතිහාසය තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය සම කිරීමට ඉන්දියාව සමත් විය.
ලකුණු 357ක දැවැන්ත සහ වාර්තාගත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු පාකිස්තානු පිතිකරුවන් හට එකඳු හෝ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි විය.
පන්දු යැවීමේ දී Kuldeep Yadav ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වුනු අතර අවසානයේ දී පාකිස්තාන ඉනිම ලකුණු 128කට සීමා කරමින් දැවැන්ත ජයක් ලබා ගන්නට ඉන්දියාව සමත් වුනේ පාකිස්තානයට එරෙහිව ලබා ගත් දැවැන්තම ජය වාර්තා කරගෙනයි.
ලකුණු 357ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 96ක් තුළ බිඳ වැටුණි.
පකිස්ථාන පිතිකරුවන්ට පිටිය තුළ සාර්ථක වීමට ඉඩ නොදුන් ඉන්දීය පන්දු යවන්නන් ඔවුන්ගේ කඩුලු 8ක් බිඳ දැමුවේ ලකුණු 128කටයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 228කින් තරගය ජය ගත්තේ ය.
අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.
සුපිරි 4 වටයේ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කොට සිටින ශ්‍රී ලංකාව අද තරගයේදී ඉන්දියාව පරාජයට පත් කළහොත් ශ්‍රී ලංකාවට ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ බලාපොරොත්තු තබාගත හැකිය.
ප්‍රේමදාස ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ට වැඩි වාසියක් ගෙන දෙන බවට ජනප්‍රිය මතයක් වුවද, පසුගිය තරග කිහිපයේ පිතිකරුවන් හොඳින් ලකුණු රැස්කිරීම සිහිපත් කළ යුතුය.
ලෝක කුසලානයට පෙර ඔවුන් හිස එසැවිය යුතුයි
ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසූවේ අංක 6 හා 7 ස්ථානවල පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා හා දසුන් ශානක ලකුණු අතරට ඉක්මණින් පිවිසීම වැදගත් වනු ඇති බවය. “ අපේ කණ්ඩායම සමබරයි. ධනංජයගේ හා දසුන්ගේ ස්ථාන අපි අලුතින් වෙනස් කළා. නමුත් ඔවුන් තවම ලකුණු අතර නෑ. ලෝක කුසලානයට පෙර ඔවුන් හිස එසැවිය යුතුයි“ නවාස් මහතා පැවැසීය.
ඉන්දීය කණ්ඩායමේ සූදානම
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව තෙවැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටින අතර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී ආරම්භක පිතිකරු Shubman Gill සිව්වැනි ස්ථානය දිනා ගනිමින් මෙම තරගය හා එක් වෙනවා.
ඉන්දීය කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ දෙවැනි තරගයට මුහුණ දෙන්නේ පළමු තරගයේ දී ආසියාවේ අංක 1ට ශ්‍රේණිගත ව සිටි පාකිස්තානයට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින්.
එබැවින් ඔවුන් මෙම තරගය සඳහා ඉතා සැහැල්ලුවෙන් යුතුව මුහුණ දෙනු නියතයි. ඊට ඔවුන්ගේ බලවත් පිතිකරණ බලඇණියත්, පන්දු යවන්නන්ගේ බලඇණියත් වඩාත් සුපරික්ෂාකාරීව ස්ථානගත කර සිටී. ඒ ශ්‍රී ලංකාව ද සුළු කොට තැකිය නොහැකි දක්ෂතාවලින් සපිරි කණ්ඩායමක් බැව් ඔවුන්ගේ විශ්වාසය නිසයි.
පෙර තරගයේ දී පෑ දක්ෂතා හේතුවෙන් ඔවුන් අද තරගයට ද එම කණ්ඩායම ම පිටියට කැඳවනු ඇතැයි විශ්වාස කළ හැකි.
ශ්‍රී ලංකාව පිට පිටම එක්දින ජාත්‍යන්තර තරග 13ක් වාර්තා කොට විශාල විශ්වාසයකින් පසුවෙයි
ශ්‍රී ලංකාව පිට පිටම එක්දින ජාත්‍යන්තර තරග 13ක් වාර්තා කොට විශාල විශ්වාසයකින් පසුවන මෙවැනි අවස්ථාවක ප්‍රබල ඉන්දීය පිල හමුවීම කාගේත් අවධානයට ලක්ව ඇත. පිට පිට තරග ජයග්‍රහණ අතුරින් ලෝක එක්දින පිටියේ ඔස්ට්‍රේලියාවට පමණක් දෙවැනි වී සිටින ශ්‍රී ලංකාව, එවැනි දස්කමක් දැක්වූ ආසියාවේ පළමු රට ලෙස ඉතිහාස පොතේ සටහනක් තබා ඉන්දියාවට එරෙහිව පිටියට පිවිසීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මෙතෙක් ආ ගමන් මගේදී බංග්ලාදේශය කඩුලු 5කින් පරාජය කළ අතර, ඇෆ්ගනිස්තානය ලකුණු 2කින් හා සුපිරි 4 වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය ලකුණු 21කින් පරාජයට පත් කළේය. ඉන්දියාව මේ තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ පාකිස්තානය සමග තරගය විසඳුමකින් තොරව නිමා කළ අතර, නේපාලය සමඟ තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. එමෙන්ම සුපිරි 4 වටයේ සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශය කඩුලු 7කින් පරාජය කළේය.
වසර 1979 සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින ජාත්‍යන්තර තරග 165ක් පවත්වා ඇති අතර, එයින් ශ්‍රී ලංකාව තරග 57ක් ජය ගනිද්දී ඉන්දියාව තරග 96ක ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු
ඉන්දීය සංචිතය: රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, කේ.එල් රාහුල්, ඉෂාන් කිෂාන්, ෂෙරියර් අයියර්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, ෂර්දුල් තාකූර්, කුල්දීප් යාදෙව්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්. සූර්යකුමාර් යාදෙව්, අක්ෂාර් පටේල්, තිලක් වර්මා, මොහොමඩ් ෂාමී, ප්රසිදිත් ක්‍රිෂ්ණා