තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට වැටී සිටි වන අලියා පැය 20 කට පමණ පසු ගොඩට ගැනීමට වනජීවී නිළධාරීන් ඊයේ (05) පස්වරුවේ කටයුතු කළහ.
තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා ඊයේ (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 05.00 පමණ වන අලියා ගොඩට ගැනීමට හැකි විය.
මෙම වන අලියා තිරප්පනය, වෙල්ලමුදාව ගම්මානයේ නිවසක ගෙවත්තක තිබූ අනාරක්ෂිත වගා ලිඳකට (04) රාත්‍රී 8.00 ට පමණ වැටී ඇති අතර, ඒ පිළිබඳව නිවැසියන් හා ගම්වාසීන් වන ජීවී නිළධාරීන් දැනුම්වත් කර ඇත.ඒ අනුව වන ජීවී නිළධාරීන් පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, අලියා නිරුපද්‍රිතව වගා ලිඳ තුළ සිටීම හේතුවෙන් ඊයේ දින (05) බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වගා ලිදෙහි බැම්ම කපා වන අලියා ගොඩට ගැනීමට සැලසුම් කර තිබිණි.
මෙම වගා ලිඳ අඩි 30 කට ආසන්න ගැඹුරකින් යුතු විශාල වගා ලිඳක් වන අතර, ඊයේ (05) ට පමණ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් වගා ලිඳ අසල පස් තට්ටුව ඉවත් කිරීමට ආරම්භ කළ නමුත් වගා ලිඳෙහි පවතින ගැඹුර හේතුවෙන් පැය ගණනක් එම බැකෝ යන්ත්‍රයට මගින් එම කටයුත්ත සිදු කිරීමට සිදු විය.ඒ අනුව වගා ලිඳ තුළ වන අලියා පැය 20 කට වැඩි කාළයක් රැදෙමින් වගා ලිඳෙන් ගොඩ ඒමට උත්සහ දරමින් රැදී සිටියේය.
ආහාර සොයා ගම් වැදුණු මෙම වන අලියා (04) රාත්‍රියේ අදාළ වගා ලිඳට වැටෙන ශබ්දය නිවැසියන්ට ඇසි ඇති අතර, නිවැසියන් ගොස් බැලීමේදී පොලව මට්ටමට පවතින ලිං බැම්මේ ගැටී වන අලියා වගා ලිඳ තුළට වැටී සිටින අයුරු දැක ඇත.
(04) රාත්‍රී 8.00 පමණ සිට වගා ලිඳ තුළ සිට ගොඩට ඒමට උත්සහ කළ වන අලියාද ඊයේ (05) පස්වරුව වන විට වල තුළ එහා මෙහා ගොස්, ගොඩට ඒමට උත්සහ දැරීමෙන් හෙම්බත් වී සිටින අයුරුද දැකගත හැකි විය.
මෙම වන අලියාගේ එක් ඇසක් තුවාල වී ඇති අතර, වගා ලිඳට වැටෙන අවස්ථාවේ එහි තිබූ කෝටුවක් ඇනීමෙන් ඇස තුවාල වන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.
පළමුව කුඩා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ලිං බැම්ම අසල කපා අලියා ගොඩට ගැනීමට උත්සහ කළද, පැය කීපයක උත්සහයකින් පසු එය අතැහැර දැමුවේ ලිදෙහි පවතින ගැඹුර හේතුවෙන් එම බැකෝ යන්ත්‍රය මගින් පැය ගණනක් බැම්ම කැපීමට සිදු වීම හේතුවෙනි.
ඒ වෙනුවට ඊට වඩා ප්‍රමාණයෙන් විශාල බැකෝ යන්ත්‍රයක් ගෙන ඒමට පසුව වන ජීවී නිළධාරීන් කටයුතු කළ අතර, පස්වරු 05.00 ට පමණ වගා ලිඳට වැටුණු වන අලියා ගොඩට ගැනීමට හැකි විය.වගා ලිඳෙන් ගොඩට පැමිණි වන අලියා නල්ලමුදාව රක්ෂිත ප්‍රදේශයට දිව ගියේය.
වගා ලිඳට වැටුණු වන අලියා දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර, වන අලියා ගොඩට එන අවස්ථාවේදී එම පිරිස වගා ලිඳ අසලින් ඉවත් කර ගැනීමට වන ජීවී නිළධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමටද සිදු විය.
මේ සම්බන්ධයෙන් තිරප්පනය අඩවි වන නිළධාරීන් මෙහෙයුම් සිදු කරනු ලබයි.