මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය ඉස්මත්තේ, ග්ලෙන්ටිල්ට් තේ කර්මාන්ත ශාලාව අසල නිවස කාමරයක් තුල අනවරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙක් මස්කෙළිය පොලීසිය මගින් ඊයේ (04) දා රාත්‍රී 08.30 ට පමණ සිදුකළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන ඇත.
නිවසේ කාමරයක් තුල ඉතා රහසිගත අයුරින් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති මෙම අනවසර මැණික් ගැරීම පොලීසිය මගින් වැටලීම් කරන අවස්ථාවේ අඩි 35 ක ගැඹුරට හා අඩි 05 ක විෂ්කම්භයක් ඇති විශාල වළක් හාරා එහි ඉල්ලම් පස් ගොඩ ගෙන නිවස අසලම ස්ථානයකට ගෙන ගොස් සෝදා ඇති බව පොලීසිය කියයි.
කාලයක් තිස්සේ ඉතා රහසිගත අයුරින් මෙම නීති විරෝධී මැණික් ගැරීම සිදු කර ඇත්තේ එම නිවසේ, නිවැසියන් පදිංචිව සිටියදී බව පොලීසිය කියයි.
සැකකරුවන් විසින් ඛණින ලද මැණික් ඉල්ලම් තොගයක්, මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා කූඩ හා අලවංගු ඇතුළු උපකරණ මෙම වැටලීමේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නුවන්, පොලිස් සැරයන්වරුන් වන ආරියරත්න (1849), රෙංගරන් (59873), පොලිස් කොස්තාපල්වරුන් වන පතිරණ (91017), නවුෂාඩ් (102874), පොලිස් රියදුරු රත්නායක (3498) යන නිලධාරිහූ මෙම වැටලීමට එක් වූහ.