Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පසු වස් එළැඹෙන නිකිණි පුර පොහෝ දිනය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වස්සාන සෘතුවෙහි දෙවැනි පුර පොහෝ දිනය නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයයි. ඇසළ මාසයේ වස් විසීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ පසු වස් එළැඹෙන්නේ නිකිණි පුර පොහෝ දිනයට පසු එළඹෙන අව පෑලවිය දින යේ ය.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ශ්‍රාවක මහා සංඝරත්නය සිදු කළ මහානීය මෙහෙවරක් වූ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය.

බුද්ධ පරිනිර්වාණය අවස්ථාවෙහි සොවින් තැවුණු පෘතග්ජන භික්ෂූන් සනසවනු පිණිස මහලු කල පැවිදි වූ සුභද්‍ර භික්ෂුව ඇවැත්නි ශෝක නොවන්න.

ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු. දැන් අපට නීති පැනවීමට කෙනකු නැත. අපට රිසි දේ කළ හැකි ය. යනුවෙන් සිදු කළ අභද්‍ර ප්‍රකාශය මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ සවනට යොමු වූයෙන් ධර්ම සංවේග උපදවා මෙම ධර්ම සංගායනාවට කටයුතු සම්පාදනය කරන ලදී. බුද්ධ පරිනිර්වාණයෙන් සත් දිනක් ඇවෑමෙන් බුදු සිරුර අදාහනය සිදු කිරීමෙන් පසුව එවක ශාසන භාරකාරිත්වයට පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් විසිරී ඇති මල්ගොඩකට බඳු උපමා ඇති මේ දහම සංගායනා කළ යුතු බව භික්ෂූන් වහන්සේට දැන්වූහ.

බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථානවල දේශනා කළ ධර්මය පිළිවෙළකට ගොනු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දී තිබේ. එයට සුදුසුම ස්ථානය අජාසත්ත මහ රජතුමන්ගේ විජිතයෙහි වන රජගහනුවර බව තෝරා ගෙන අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන, ආදී ගුණයන්ගෙන් යුක්ත සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ 499 නම නමක් හා සේඛව සිටි ආනන්ද හිමියන් සමඟ එහි වැඩම කරන්නට වූහ.

මගධ රට පාලනය කළ අජාසත්ත මහ රජතුමාගේ අනුග්‍රහයෙන් රජගහනුවර වේහාර කඳුවැටි පාමුල සප්තපර්ණි ගුහා ද්වාරයේ පන්සියයක් මහ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් සත් මසක් සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පොහෝ දා ය.

budusarana

Scroll to Top