වසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවට උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්යක්ෂ, උඩවලව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
උඩවලව ජලාශයේ ජල මට්ටම අද දිනය වනවිට 1.8% දක්වා අඩුවි ඇති බවට පෙන්වාදුන් නියෝජ්‍ය අධ්යක්ෂවරයා ගොවීන්, පානීය ජලය ලබන සාමාන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද දරුණු ජල ගැටලුවකට මුහුණ දෙන බව ද අවධාරණය කර තිබේ.
“උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 3511කට වඩා අඩු මට්ටමකට ඇවිත් මේ වනවිට උඩවලව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 75.5ක ප්‍රමාණයේ රැඳිලා තියෙන්නේ. තව දවස් දෙකකින් උඩවලව ජලාශයේ ජල මට්ටම අවම මට්ටමකට ඒවි කියලා විශ්වාස කරනවා. එහෙම වුනොත් ජලාශයේ ජලය නිකුත් කිරිමේ දී අවම පීඩන මට්ටමකට ඒවි. එහෙම වුණොත් විශාල ගැටලුවකට මුහුණ දෙනවා.”යනුවෙන් නියෝජ්‍ය අධ්යක්ෂ සූජීව ගුණසේකර මහතා සඳහන් කර තිබේ.