ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගී වීම සඳහා රුසියානු බොක්සිං සම්මේලනය පුහුණුව සහ මූල්‍යාධාර ලබාදෙන බවයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේදී ය.
ලංකාවේ දේශගුණය ඕනෑම රටකට ගැළපෙන බැවින් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීමට හැකියාව ඇතැයි ද, ඒ සඳහා ඉදිරියේදී කටයුතු යොදන බව ද ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව වෘත්තීය බොක්සිං ක්‍රීඩාව ප්‍රචලිත කිරීම තම සම්මේලනයේ අභිප්‍රාය බව ද ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ බොක්සිං පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ඒ සඳහා කඩිනමින් ව්‍යාපෘති වාර්තාවක් සකස් කර වැඩ ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ ප්‍රමුඛතම වගකීම වනුයේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා කටයුතු කිරීම බවත්, නිලධාරීන්ට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට තමන් වඩා උනන්දුවෙන් කටයුතු කරන බවත් උමාර් ක්‍රෙම්ලීව් මහතා එම සාකච්ඡාවේදී සඳහන් කළේය. මෙරට බොක්සිං ක්‍රීඩාව පවත්වාගෙන යන පාසල් 100ක් හා අලුතින් හඳුනාගත් පාසල් 30කට බොක්සිං ක්‍රීඩාව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙවර ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීම සඳහා ඩොලර් 50,000ක මුදලක් වෙන් කරන බවත්, ඉදිරි වසරේ සිට එය ඩොලර් 100,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් එම සාකච්ඡාවේ දී ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා කීවේය.
හිටපු ලෝක හෙවිවේට් ශූර රෝයි ජෝන්ස්, ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ නිලධාරින් වන සොල්ට් බර්නා, ඇලිසා ස්චර්බචෙන්යා සමඟ ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති ඩයන් ගෝමස්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන් සහ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ශෙමාල් ප්‍රනාන්දු මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.
බොක්සිං සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩිකාවන්ට ඉන්දියාවේ බොක්සිං ශුරතාවලියට සහභාගී වීමට අරමුදල් සැපයීමට සහ උස්බෙකිස්තානයේ දී පුහුණු සැසි පැවැත්වීමටත් පහසුකම් ලබාදෙන බව සඳහන් වේ.
අග්‍රාමාත්‍යවරයා විසින් මෙරට බොක්සිං ක්‍රීඩාව ප්‍රවර්ධනයට බොක්සිං සම්මේලනය දෙන සහාය ඇගයීමට ලක් කරන ලදී.