Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපට වතුර ටිකක් අරන් දෙන්න කවුරු හරි උදවු කළොත් ඒක මහා පිනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉටිකොළ ගැසූ කුඩා පැල්පතක ජීවත්වන දරු පවුලක් ගැන හුංගම මුලන ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එදි‍ෙනදා කුලී වැඩක් කරගෙන නිවුන් දරුවන් දෙදෙනෙක් පෝෂණය කරමින් අගහිඟකම් මැද මේ පවුලට කාගෙන්වත් අස්වැසුමක් නොලැබුණු බව ඔවුහු පවසති.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුංගම මුලන ග්‍රාම සේවා වසමේ මේ පවුල ජීවත් වෙති. වයස අවුරුදු 03ක පිරිමි නිවුන් දරුවන් දෙදෙනකු හා බිරිය පෝෂණය කරන්නේ සැමියා කුලියක් මලියක් කරමිනි. මේ දිනවල කුලී වැඩක්වත් නැති හෙයින් මොවුන් ගතකරන්නේ දැඩි කටුක ජීවිතයකි.

සැමියාට මවගෙන් ලද ඉඩමක තැනූ කුඩා පැල්පතේ ටකරන් කීපයක් සෙවිලි කරගෙන වටේ ඉටිකොළ ගසා දොරක්වත් නැතිව වැසිකිළි පහසුකම් කිසිවක් නැතිව බීමට ජල බිඳක් අල්ලපු ගෙදරින් ඉල්ලාගෙන ජීවත්වන මේ තරුණ යුවළ ඉල්ලා සිටින්නේ දෑතේ හයිය තිබෙන නිසා වගාවක් හරි කරගන්න ඉඩමට ජලය ලබාගැනීමට උදවු කරන ලෙසය.

රජයේ නිලධාරීන් විටින් විට නිවෙසට පැමිණ තොරතුරු අසාගෙන ගියත් ඒ කිසිවකුගෙන්වත් මෙතෙක් කිසිදු සහනයක් ලැබී නැති බවද මේ තරුණ යුවළ සඳහන් කළහ.

එම්. සුරේෂ් චන්දන මහතා මෙසේ පැවසීය.

මගේ බිරිය මාතර පැත්තේ. දැන් අපි පදිංචි වී සිටින්නේ හුංගම මුලන. මේ ඉඩම් කොටස අම්මා මට දුන්නේ.මට රැකියාවක් නැහැ. ඒත් මම කුලියක් කරලා කොහොම හරි දරුවන් දෙදෙනා සහ බිරිය රැකබලා ගන්නවා. කුලී වැඩ කරලා ගන්න මුදලින් එදා දවසේ කන්න බොන්න දේ ගෙනාවාම දරුවන්ට අවශ්‍ය දේ ගේන විට ඉතුරුවක් නැහැ. මේ කුඩා පැල්පත දැන් කඩා වැටෙන්න ළඟයි. ඒ නිසා මම වසර ගණනාවක් තිස්සේ කුලී වැඩ කර පොඩ්ඩ පොඩ්ඩ ඉතිරි කරගෙන කාමර දෙකක් දැනට හදාගෙන යනවා. මට අතපය හයිය තියෙනවා. මට මේ ඉඩමේ වගාවක් කරගන්න පුළුවන්. ඒකට එකම ප්‍රශ්නය වතුර නැතිකමයි.

අල්ලපු ගෙදරින් වතුර ඉල්ලාගෙන තමයි බොන්නේ වැසිකිළියට යන්නේ. අල්ලපු ගෙදරට හැමදාම කරදර කරන්න බැහැ. ඒ අයටත් කරදරයක් ඒක. ඒ නිසා අපේ එකම ඉල්ලීම ගෙයක් දොරක් හදා දෙන්න කියන එක නොවෙයි. අපි ඉන්න තැනට වතුර අරන් දෙන්න කවුරු හරි උදවු කරන්න කියන එකයි. ඒක මහා පිනක්. වයස අවුරුද තුනක නිවුන් දරුවන් දෙදෙනා පෝෂණය කරන්නේ හරිම අමාරුවෙන්. රජයෙන් කියා අපට කිසිම සහනාධාරයක් ලැබෙන්නේ නැහැ.

අපට අතපය හයිය තිබෙන නිසා හම්බ කරගෙන කන්න පුළුවන්. ඒත් අද කුලී වැඩවත් නෑ. කුලී වැඩක් කරලා ගන්න මුදල මදි දරුවන්ට කෑමබීම ගෙනත් දෙන්න. මා නැවතත් කියන්නේ අපට වතුර ටික අරන් දෙන්න කවුරු හරි උදව් කරනවානම් ඒක ලොකු පිනක්. 0719659351 දුරකතන අංකයට ඇමතීමෙන් වැඩි විස්තර දැන ගත හැකියි.

ලුණම සමූහ – සනත් ගමගේ

sinhala news24

Scroll to Top