Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇසළ පෙරහැරේ විදුලි ඇස්තමේන්තුව ගැන සාකච්ඡාවක් හෙට (18)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

දළදා මාලිගාව, සතර දේවාල මෙන්ම නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව දළදා මාලිගා පරිශ්‍රයේ දී පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.

විදුලි බිල මහනුවර ඇසළ පෙරහරට බාධාවක් කර නොගන්නා බවද විදුලි බිල ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් පරිදි කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය. මෙවර මහනුවර ඇසළ පෙරහරේ විදුලි ආලෝකකරණය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඇස්තමේන්තු ගතකර ඇති මුදල රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහස් දහයකි.(13,299,010.00)

කෙසේ නමුත්, පෙරහරට අදාළව විදුලි ආලෝකකරණයට ඉකුත් වසරේ (2022) ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 90 කි.

විදුලි ආලෝකකරණයේදී ශ්‍රී දළදා මාලිගාව සඳහා රුපියල් ලක්ෂ 34 ක්ද, ශ්‍රී නාථ දේවාලය සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද, ශ්‍රී විෂ්ණු දේවාලය සඳහා රුපියල් ලක්ෂ 13 ක්ද, ශ්‍රී කතරගම දේවාලය සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද, ශ්‍රී පත්තිනි දේවාලය සඳහා රුපියල් ලක්ෂ 11ක්ද ඇස්තමේන්තු ගතකර ඇත. එමෙන්ම, මහනුවර නගරය තුළ පෙරහර ගමන් ගන්නා සියලුම වීදි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තු ගතකර තිබෙන මුදල රුපියල් ලක්ෂ 44 කි.

“පෙරහරට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සෑම වසරකදීම ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. එය වෙනදා වගේ නොවෙයි සක්‍රීයව එවලා තිබෙනවා. මේ විදුලි බිල දරන ආයතන කීපයක් තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල, මහනුවර මහ නගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම ආයතනයි. මේ සම්බන්ධයෙන් සියලුදෙනා එකතු වෙලා බිල ගෙවන ආකාරය සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගත යුතුයි.’’ යැයිද දියවඩන නිලමේවරයා කීවේය.

විදුලි බිල සම්බන්ධ ගැටලුව සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

Scroll to Top