Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් සටන හෙට (09)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට (09 ) දහවල් 12:30 ට සිම්බාබ්වේ හි හරාරේ හිදී ආරම්භ වේ.

මෙම කණ්ඩායම් දෙකම මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර තරගාවලියේ ශූරයන් තේරීම නිමිත්තෙන් පමණක් මේ තරගය පැවැත්වේ.

මෙම අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් නෙදර්ලන්තය Q1 සහ ශ්‍රී ලංකාව Q2 ලෙස ලෝක කුසලානයේ තරගවදී.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිට අවසන් මහා තරගයට පළමුව සුදුසුකම් ලැබූ කණ්ඩායම බවට පත්විය.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය ඊයේ (07) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්විණි.

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි දෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 08 කින් ජය ගත්තේ ය.

හරාරේහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 මහීෂ් තීක්ෂණ දවා ගත්තේ ය.

බටහිර ඉන්දීය කොදෙව් මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 81කදීයි.කීසි කාර්ටි සහ කෙවින් සින්ක්ලෙයාර් අතර 8 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 63කි.

මංගල එක් දින අර්ධ ශතකයද සමගින් කීසි කාටි ලකුණු 87ක් රැස් කළේ ය.මහීෂ් තීක්ෂණ ලකුණු 34ට කඩුලු 4යි.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළේ ය.පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න එක්ව ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළහ.ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් අතර දිමුත් කරුණාරත්න අද රැස් කළේ 11 වැනි එක් දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

පැතුම් නිස්සංක 3 වැනි එක් දින ජාත්‍යන්තර ශතකය අද වාර්තා කළේ ය.ශ්‍රී ලංකා පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 190කි.දිමුත් කරුණාරත්න ලකුණු 83කට දැවී ගියේය.ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තීරණාත්මක තරගයක පෙරේදා නිරත වූ නෙදර්ලන්තය ස්කොට්ලන්තය පරදවා තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙන්ම අවසන් මහා තරගය සඳහා ද සිය ස්ථානය වෙන් කර ගත්තේය.

එහි දී නෙදර්ලන්ත ඉනිමේ වීරයා බවට පත් වෙමින් කඩුලු 5 ක් දවාගෙන ඉන් පසු අගනා ශතකයක් රැස් කරමින් විශිෂ්ට දස්කම් දැක්වීමට බැස් ඩී ලීඩ් සමත් වූයේ ය.

ඔහුගේ එම දස්කම් නිසා 2011 වසරෙන් පසු පළමු වරට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකි විය.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගය සිය ලකුණු වේගය ඉහළ නංවමින් ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට අවශ්‍ය වූ අතර ස්කොට්ලන්තය නියමිත පන්දු වාර 50 අවසානයේ ලකුණු 277ක් රැස් කිරීමට සමත් වූයේය.

නෙදර්ලන්තයට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් පන්දු වාර 44ක් තුළ ලකුණු 278 ලබා ගැනීමට අවශ්‍ය වූ අතර බැස් ඩී ලීඩ් ගේ විශිෂ්ට ශතකය මත පන්දු වාර 42.5 කදී කඩුලු 6 ක් දැවී ඔවුහු එම ඉලක්කය පසුකර ගියහ.

බැස් ඩී ලීඩ් ලකුණු 121 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 52 කට කඩුලු 5ක් දවා ගත්තේය.

Scroll to Top